3. 4.
ශාරීපුත්ර සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සමාධි අරමුණට සිහිය යොමු කොට එළවා තබා වැඩ හුන්නාහු වෙති. භාග්යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට තබා අරමුණට අභිමුඛ කොට සිහිය එළවා නොදුරෙහි වැඩ හුන් සැරියුත් තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යම්සේ ගල්පව්වෙක් අචල වැ මොනොවට පිහිටියේ ද, එසේ ම මහණ තෙම මෝහය ක්ෂීණ වීමෙන් පව්වක් මෙන් නො සැලේ.”
3. 5.
කෝලිත සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි මහමුගලන් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ, උඩුකය ඍජු කොට පිහිටුවා සිය සතන්හි මොනොවට එළඹැ සිටි කය අරමුණු කොට පැවැති සිහියෙන් යුතු වැ හුන්නාහු වෙති. භාග්යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිය සතන්හි මොනොවට එළඹැ සිටි කය අරමුණු කොට පැවැති සිහියෙන් යුතු වැ නොදුරෙහි වැඩැ හුන් මහමුගලන් තෙරුන් දුටු සේක.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යමක්හුගේ කය අරමුණු කොට ඇති සිහිය එළඹැ සිටියේ වේ ද, යමෙක් ස්පර්ශයට කාරණ වූ සදොරෙහි සංවෘත වූයේ ද, (සදොරෙහි ඉන්ද්රිය සංවරයෙන් සංවෘත ද) එසේ වූ නිරතුරු විපස්සනා සමාධියෙන් සමාහිත වූ මහණ තෙම තමාගේ (පසක් කිරීමෙන්) නිවන දන්නේ ය.”
3. 6.
පිලින්දිවච්ඡ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පිලින්දිවච්ඡ තෙරණුවෝ (‘එව වසලය, ඉවත යා වසලය’ යන ආදී වශයෙන්) වසල වාදයෙන් මහණුනට කතා කෙරෙති. එකල්හි බොහෝ මහණහු භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ ම ඒ මහණහු භාග්යවතුන් වහන්සේට “වහන්ස, ආයුෂ්මත් පිලින්දිවච්ඡයෝ භික්ෂූන්හට වසලවාදයෙන් කතා කෙරෙති”යි මෙ පවත් සැළ කළහ.
2. එ කල්හි භාග්යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ තෝ මෙහි එ. ‘ඇවැත්නි, පිලින්දිවච්ඡයනි, ශාස්තෲහු තොප කැඳවති’යි මා වචනයෙන් පිලින්දිවච්ඡදයා කැඳව”යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ඒ මහණ භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී පිලින්දිවච්ඡ තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ පිලින්දිවච්ඡ තෙරුන්ට ‘ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මුඹ කැඳවති’යි කීහ. ‘එසේ ද ඇවැත්නි?’ යි කියා පිලින්දිවච්ඡ තෙරණුවෝ ඒ මහණහට පිළිවදන් දී භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳ ගත්හ. එකත්පසෙක හුන්නාවූ ම පිලින්දිවච්ඡ තෙරුනට භාග්යවතුන් වහන්සේ වච්ඡයෙනි, තොප වසලවාදයෙන් මහණුන් අමතති යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි තෙරණුවෝ වදාළහ.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පිලින්දිවච්ඡ තෙරුන්ගේ පෙර වුසූ කඳපිළිවෙළ මෙනෙහි කොට, ‘මහණෙනි, තෙපි වච්ඡ මහණනුට උජඣායන (පහත් කොට සිතීම) නො කරව. මහණෙනි, වච්ඡයෝ ද්වේෂ සහගත සිත් ඇති වැ මහණනුට වසලවාදයෙන් කතා නො කරති. වච්ඡ මහණුන්දෑගේ අතීත පන්සියක් ම අත්බව්හු අතරක් නැතිව ම බමුණු කුලයෙහි උපන්නාහ. ඔවුන්ගේ ඒ ‘වසලයා’ යන වචනය බොහෝ කලක් කියා ගෙන එන ලද්දෙකි. එහෙයින් මේ වච්ඡයෝ මහණනුට (‘වසලයා’යි) වසලවාදයෙන් (පෙර පුරුද්ද අනුව) කතා කෙරෙති.
4. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යමක්හු කෙරෙහි මායාවෙක් නො පවත්නේ ද, මානයෙක් නො පවත්නේ ද, යමෙක් පහ වූ ලෝභය ඇත්තේ ද, මමායන රහිත ද, ආශා රහිත ද, මුල් සුන් කළ ක්රෝධය ඇත්තේ ද, (කෙලෙස් පිරිනිවනින්) නිවුණු සිතැත්තේ ද, බ්රාහ්මණයාත් හේ ම ය, ශ්රමණයාත් හේ ම ය, භික්ෂූවනුයේත් හේ ම ය.”
3. 7.
කාශ්යප සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයේ කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහසුප් තෙරණුවෝ පිප්ඵලීගුහායෙහි වැඩ වෙසෙති. (එසේ වැඩ වසනුවෝ) එක්තරා සමාධියකට සමවැද එක් පලඟින් වැඩහුන්නාහු වෙති.