3. 2.
නන්‍ද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් වෙහෙර නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපත් ආයුෂ්මත් නන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම් සස්නැ නො ඇලුණෙම් බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි දන්වයි.
2. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹැ සකසා වැඳ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් ආයුෂ්මත් නන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම් සස්නැ නො ඇලුණෙම් බඹසර සරමි. බඹසර උසුළන්නට නොහැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි කියා යැ යි මෙ පවත් සැළ කෙළේ ය.
3. එවිට භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු බණවා, “මහණ, මෙහි එ, “ඇවැත් නන්‍දයෙනි, ශාස්තෲහු තොප කැඳවතැ’යි මගේ වචනයෙන් නන්‍ද භික්‍ෂුහු කැඳව”යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් නන්‍ද භික්‍ෂු කරා එළැඹියේ ය. එළැඹ “ඇවැත් නන්‍දයෙනි, ශාස්තෲන් වහන්සේ මුඹ කැඳවන සේකැ”යි කීයේ ය.
4. ‘එසේ ය, ඇවැත්නි’යි කියා ම ආයුෂ්මත් නන්‍ද තෙම ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්තේ ය. එක් පසෙක හුන්නාවූ ම ආයුෂ්මත් නන්‍දහට භාග්‍යවතුන් වහන්සේ ‘සැබැව, නන්‍ද ය, “ඇවැත්නි, නො ඇලුණෙම් මම් බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි බොහෝ මහණුනට මෙසේ දැන්වූයෙහි දැ?” අසා වදාළ සේක. “එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් නන්‍ද තෙම කීය. කවර හෙයින් නො ඇලුණක් වැ බඹසර සරයි ද? බඹසර උසුළන්නට නො හැක්කෙහි ද? ශික්‍ෂාව හැරැපියා ගිහිබවට පෙරැළෙන්නෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක. “වහන්ස, මා ගෙන් නික්මෙද්දී සෑ දු දනවුකලණ අඩක් පණාගැසු හිසකෙසින් උපලක්‍ෂිත වැ මා බලා, ‘ස්වාමිපුත්‍රය, වහා ම එන්නැ’යි මට කිවු ය. වහන්ස, එය සිහි කරන මම් නොඇලී බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරපියා ගිහි බවට පෙරැළෙන්නෙමි”යි නන්‍ද තෙම කීය.
5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයා අතැගෙන යම්සේ කාබලැති මිනිසෙක් වක් කළ අත දික් කරන්නේ හෝ දික් කළ අත වක් කරන්නේ ද, එ පරිද්දෙන් ම දෙව්රම්හි අතුරුදන් වැ තව්තිසා දෙව්ලොවැ පහළ වූ සේක.
6. එ සමයෙහි පරෙවිපා බඳු රත් පැහැ පා ඇති පන්සියක් පමණ වූ දෙවඟනෝ සක්දෙවිඳුට උවටැනට ආවා වෙති. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයන් අමතා “නන්‍දයෙනි, තෙපි පරෙවිපා බඳු රත්පැහැ පා ඇති මේ පන්සියක් පමණ වූ දෙවඟනන් දක්නහු දැ?” යි අසා වදාළ සේක. “එසේ ය වහන්සැ”යි නන්‍දයෝ කීහ.
7. “නන්‍දයෙනි, එය කිමැ යි සිතවු ද? සැහැදූ ජනවුකලණ ද පරෙවිපා බඳු රත් පැහැ පා ඇති මේ පන්සියක් පමණ දෙවඟනෝ ද යන මොවුන්ගෙන් කවර කෙනෙක් වඩා විශිෂ්ට රූපසම්පත් ඇත්තෝ ද, වඩා දැකුම් කටයුත්තෝ ද? වඩා ප්‍රසාද එළවන්නෝ දැ?”යි අසා වදාළ සේක.
“වහන්ස, සැහැදූ ජනවුකලණ කන්නාසා සුන් පුළුටු වැඳිරිය බඳු ය. මේ පන්සියක් දෙවඟනන් සමීපයෙහි ලා සැලැකීමෙහි දී ඕ ගණනට ද නො එයි. සොළොස් වන කලාවට ද නො එයි. කලාවෙන් කලාවට ද නො එයි. මොවුන් හා මෝ සමාන යැ යි ළඟ තැබීමට ද නො එයි. වැලිදු මේ පන්සියක් දෙවඟනෝ ම වඩා විශිෂ්ට රූපසම්පත් ඇත්තෝ ද, වඩා දැකුම් කටයුත්තෝ ද, වඩා ප්‍රසාද එළවන්නෝ ද වෙති”යි ආයුෂ්මත් නන්‍දයෝ කීහ.
“නන්‍දයෙනි, සස්නෙහි සිත් අලව. නන්‍දයෙනි, සස්නෙහි සිත් අලව. මම් තොපට පරෙවිපා බඳු රත් පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලැබවිමට ඇප වෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, ඉදින් පරෙවිපා බඳු රත් පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලබා දීමට භාග්‍යවතුන් වහන්සේ ඇප වන සේක නම්, මම් භාග්‍යවතුන් වහන්සේ වෙත සසුන්බඹසර රැක්මෙහි සිත් අලවන්නෙමි”යි (ආයුෂ්මත් නන්‍දයෝ කීහ.)