2. 8.
සුප්රවාසා සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කුණ්ඩියා (නම්) නගරය සමීපයෙහි කුණ්ඩධාන (නම්) වනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සුප්පවාසා නම් කෝලිය දූහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගර්භයක් දරයි: සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු කර්කශ වූ කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දී ත්රිවිධ විතර්කයන් කරණ කොට ගෙන ඉවසනු හැකි වෙයි:
“යම් කෙනෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපන්නේ ද, ඒ භාග්යවතුන් වහන්සේගේ සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන්නේ ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත්තේ ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුවය” යනු ත්රිවිධ විතර්කය යි.
ඉක්බිති සුප්පාවාසා කෝලිය දූහිතෘ තොමෝ හිමියා අමතා, “ආර්ය්යපුත්රය, මුබ (මෙහි) එන්නැ: භාග්යවතුන් වහන්සේ වෙත එළඹෙන්නැ. එළැඹැ මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේ ගේ පා වඳින්නැ. ආබාධ නැති නියා ද රෝග නැති නියා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද, (ශරීර) බලය ද, පහසු විහරණය ද විචාරන්නැ. “ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ හිසින් භාග්යවතුන් වහන්සේගේ පා වඳියි. ආබාධ නැති නියා ද, රෝග නැති නිසා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද (ශරීර) බලය ද පහසු විහරණය ද විචාරයි. ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ සත්අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දරයි. සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු වූ කර්කශ වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දී ‘යම් කෙනෙක් මෙ බඳු මේ දුක දුරු කරනු පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපදින්නේ ද ඒ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන් ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත් ද ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම යැ යන තුන් විතර්ක හේතු කොට ගෙන ඒ දුක් ඉවසනු හැකි වේ යැ යි සැළ කරන්නැ”යි කිවු ය.
3. ‘මැනැවැ’ යි ඒ කෝලිය පුත්ර තෙමේ සුප්පාවාසා කෝලිය දුහිතෘවට පිළිවදන් දී භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නා වු ඒ කෝලියපුත්ර තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය:
“වහන්ස, සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ හිසින් භාග්යවතුන් වහන්සේගේ පා වඳියි. ආබාධ රහිත නියා ද, රෝග රහිත නියා ද, සැහැල්ලු පැවතුම් ඇති නියා ද (ශරීර) බලය ද, පහසු විහරණය ද විචාරයි. මෙසේත් කියයි: ‘වහන්ස, සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දරයි. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්භ ව ඕ තොමෝ දුක් වූ තියුණු වූ කර්කශ වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දී “යම් කෙනෙක් මෙ බඳු මේ දුක දුරු කරනු පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්යක් සම්බුද්ධයහ. යමෙක් මෙ බඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපදින්නේ ද, ඒ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන් ය. යම් නිවනෙක මෙ බඳු මේ දුක නැත් ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුව යැ”යි ත්රිවිධ විතර්කයෙන් ඉවසා ය’ යනුයි.
“සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සුඛිත වේවා, නීරෝග වේවා, නීරෝග පුත්රයකු වදාවා”යී භාග්යවතුන් වහන්සේ වදාළ සේක. භාග්යවතුන් වහන්සේගේ ඒ වචනය සමග ම සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සුඛිත වූවා නීරෝග වූවා නීරෝග පුත්රයකු වැදුවා ය.
“වහන්ස, එසේ යැ”යි ඒ කෝලියපුත්ර තෙමේ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන, නැවතත් සතුට ප්රකාශ කොට අස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ මනා කොට වැඳ පැදකුණු කොට ස්වකීය ගෘහය කරා ගියේ ය.
කෝලියපුත්ර තෙමේ නීරෝග පුත්රයකු වැදුවා වූ සුඛිත වූ නීරෝග වූ සුප්පාවාසා කෝලියදුහිතෘ දුටුයේ ය. දැකැ ඔහුට “යම් බඳු වූ මේ කෝලියදුහිතෘ තොමෝ භාග්යවතුන් වහන්සේගේ වචනයත් සමග ම සුව පත් වූවා, නීරෝග වූවා, නීරෝග වූ පුත්රයකු වැදූ ද, පින්වත්නි, ඒ තථාගතයන් වහන්සේ ගේ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ඒකාන්තයෙන් ආශ්චර්ය්යය. ඒකාන්තයෙන් අද්භූත යැ”යී මෙ බඳු සිතෙක් විය. හේ සතුටු සිත් ඇත්තේ අතිශයින් ප්රමෝදය ඇත්තේ, හටගත් බලවත් ප්රීතිය හා සොම්නස ඇත්තේ විය.
ඉක්බිති සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ හිමියා ඇමතුවා ය: “ආර්ය්යපුත්රය, මුඹ මෙහි එන්නැ. භාග්යවතුන් වහන්සේ වෙත එළැඹෙන්නැ. එළැඹැ ‘වහන්ස, සුප්පවාසා කෝලියදුහිතෘ භාග්යවතුන් වහන්සේගේ පා හිසින් වඳී’ යන මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ පා හිසින් වඳින්නැ. මෙසේත් කියන්න. ‘වහන්ස, සුප්පවාසා නම් කෝලිය දුහිතෘ තොමෝ සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්භව සිටියා ය. ඕ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වු පුත්රයකු වැදුවා ය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟනට බතින් නිමතයි. වහන්ස, භාග්යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයාත් සමග සුප්පවාසා කෝලියදූහිතෘවගේ සත් බතක් ඉවසා වදාරන සේක්වා’යි කියන්නැයි”යී කිවු ය.