2. 9.
විශාඛා සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්වාරාමයෙහි මෘගාරිමාතාප්රාසාදයෙහි වැඩ වසන සේක. එසමයෙහි මෘගාරිමාතෘ නම් වූ විශාඛාවට පසේනදි කොසොල් රජ්ජුරුවන් කෙරෙහි පිළිබඳ වු (පසේනදි රජුලවා කරවා ගත යුතු) කිසියම් කටයුත්තෙක් වෙයි. එය පසේනදි කොසොල් රජ ඇයගේ අදහස පරිදි තීරණය නො කරයි.
ඉක්බිති මෘගාරිමාතා විශාඛා මධ්යාහ්න වෙලාවෙහි භාග්යවතුන් වහන්සේ වෙත එළැඹුණු. එළැඹැ භාග්යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක් හුන. එකත් පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ වූ විශාඛාවට භාග්යවතුන් වහන්සේ “විශාඛාවෙනි, තෙපි දැන් දෙවෙන් දහවලැ කොහි සිට එන්නහුදැ?”යි වදාළහ.
“වහන්ස, මට මෙහි පසේනදි කොසොල් රජ්ජුරුවන් අයත් කිසියම් කටයුත්තෙක් වෙයි. එය පසේනදි කොසොල් රජ මා අදහස පරිදි තීරණය නො කෙරේ යැ”යි සැළ කළා ය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක.
“අනුන් අයත් සියල්ල දුක් ය. සියලු ලොවී ලොවුතුරා ඉසුරු බව සුව ය. සාධාරණය ඉටු කරවා ගැනීමෙහි ලා සියල්ලෝ දුකට පැමිණෙති.(කාමාදි) යෝගයෝ ඉක්මීමෙහි දුෂ්කර වෙති.
2. 10.
භද්දිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ අනුපියනුවර අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වනයට ගියාහු ද, රුක්මුලට ගියාහු ද, ශූන්යාගාරයට ගියාහු ද, හැම විට ම “අහෝ සුවයෙක අහෝ සුවයෙකැ”යි උදන් අනන සේක. බොහෝ භික්ෂූහු වනයට ගියාවූ ද, රුක්මුලට ගියාහු ද ශූන්යාගාරයට ගියාවූ ද කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේගේ නිතර “අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ”යි පහළ කරන උදානය ඇසූහ. අසා ඔවුනට “ඇවැත්නි නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ (ශාසනයෙහි) නො ඇලුණාහු බඹසර හැසිරෙති. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හෙ තෙමේ එය සිහි කරන්නේ වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්යාගාරයට ගියේ ද “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැයි උදන් පහළ කෙරේ යැ”යි මෙබඳු සිතෙක් විය.
2. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට “වහන්ස, කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්යාගාරයට ගිය ද, නිතර “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැ”යි උදන් අනයි. වහන්ස, නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ ශාසනයෙහි නො ඇලුණේ බඹසර හැසිරෙයි. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හේ එය සිහි කරමින් වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්යාගාරයට ගියේ ද නිතරම “අහෝ සුවයෙක, අහෝ සුවයෙකැ”යි උදන් අනායි කීහ.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමැතූ සේක. “මහණ තෝ (මෙහි) එ. ‘ඇවැත, භද්දියය, ශාස්තෲන් වහන්සේ තා අමතති’යි මාගේ වචනයෙන් භද්දිය භික්ෂු කැඳව”යි වදාළ සේක.