2. 7.
ඒකපුත්‍ර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
එසමයෙහි එක්තරා උපාසකයකු ගේ ප්‍රිය වූ මනාප වූ එක ම පුත්‍රයා කලුරිය කෙළේ වෙයි. ඉක්බිති බොහෝ උපාසකයෝ තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මධ්‍යාහ්න වෙලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නෝ ය. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙක හුන්නා වූ ඒ උපාසකයනට “උපාසකයිනි, කවර හෙයෙකින් තෙපි මධ්‍යාහ්නවේලාවෙහි තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මෙහි පැමිණියහු දැ?”යි අසා වදාළ සේක.
මෙසේ වදාළ කල්හි ඒ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මට ප්‍රිය වූ මනාප වූ එක ම පුත්‍රයෙක් විය. ඒ පුත්‍රයා කලුරිය කෙළේ ය. ඒ හේතුවෙන් අපි තෙත් වූ වස්ත්‍ර ඇත්තමෝ, තෙත් වූ කෙස් ඇත්තමෝ මධ්‍යාහ්නවේලාවෙහි මෙහි පැමිණියම්හ යි කී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
ප්‍රිය ස්වභාවය ඇති රූපස්කන්‍ධාදීන්හි (සුඛ) වේදනාස්වාදයෙන් බැඳීගිය සිත් ඇති බොහෝ (චාතුර්මහාරාජිකාදි) දේවසමූහයෝ ද, මනුෂ්‍යයෝ ද (කායික චෛතසික දුකින්) දුඃඛිත වූවාහු (රෝගාදි විපත්තියෙන් හා යෞවනාරෝග්‍යාදි සම්පත්තියෙන් ද) පිරිහුනාහු මෘත්‍යුරාජයා ගේ වශයට යෙති.
යම් කිසි කෙනෙක් දහවල්හි දු, රාත්‍රියෙහි දු අප්‍රමත්ත ද, ඔවුහු ඒකාන්තයෙන් ප්‍රියරූපය දුරු කෙරෙති. ඔවුහු මාරයාගේ ආමිෂය වූ (මේ ශාසනයෙන් පිටත කිසිවකු විසිනුත්) ඉක්මෙන්නට නොහැකි දුකට මුල් වූ තෘෂ්ණාව ඒකාන්තයෙන් සාරා දමත්.
2. 8.
සුප්‍රවාසා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩියා (නම්) නගරය සමීපයෙහි කුණ්ඩධාන (නම්) වනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සුප්පවාසා නම් කෝලිය දූහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගර්‍භයක් දරයි: සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු කර්‍කශ වූ කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දී ත්‍රිවිධ විතර්‍කයන් කරණ කොට ගෙන ඉවසනු හැකි වෙයි:
“යම් කෙනෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපන්නේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන්නේ ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත්තේ ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුවය” යනු ත්‍රිවිධ විතර්‍කය යි.
ඉක්බිති සුප්පාවාසා කෝලිය දූහිතෘ තොමෝ හිමියා අමතා, “ආර්‍ය්‍යපුත්‍රය, මුබ (මෙහි) එන්නැ: භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නැ. එළැඹැ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ පා වඳින්නැ. ආබාධ නැති නියා ද රෝග නැති නියා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද, (ශරීර) බලය ද, පහසු විහරණය ද විචාරන්නැ. “ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පා වඳියි. ආබාධ නැති නියා ද, රෝග නැති නිසා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද (ශරීර) බලය ද පහසු විහරණය ද විචාරයි. ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ සත්අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දරයි. සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු වූ කර්‍කශ වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දී ‘යම් කෙනෙක් මෙ බඳු මේ දුක දුරු කරනු පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපදින්නේ ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන් ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත් ද ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම යැ යන තුන් විතර්‍ක හේතු කොට ගෙන ඒ දුක් ඉවසනු හැකි වේ යැ යි සැළ කරන්නැ”යි කිවු ය.