2. 6.
ගර්භිනී සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එ සමයෙහි එක්තරා පරිව්රාජකයකුගේ තරුණ වූ මෙණෙවියක් (බමුණුදුවක්) භාර්ය්යා වූවා, හටලත් දරුගප් ඇත්තී (අද හෙටැයි) එළැඹැ සිටි වදන කල්ඇත්තී වෙයි.
ඉක්බිති ඒ පරිව්රාජිකාව පරිව්රාජකයාහට, “බ්රාහ්මණය තෝ යා. යම් ඒ තෙලක් වැදූ මට උපකාර වේ ද එබඳු තෙලක් ගෙනැ එව”යි මෙ බස් කිවු ය. මෙසේ කී කල්හි ඒ පරිව්රාජක තෙමේ ඒ පරිව්රාජිකාවට “පින්වතිය, මම කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. දෙවෙනි වරටත් ඒ පරිව්රාජිකාව ඒ පරිව්රාජකයාට, “බ්රාහ්මණය තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ ද, එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය. දෙවෙනි වරත් ඒ පරිව්රාජක තෙමේ ඒ පරිව්රාජිකාවට “පින්වතිය, මම් කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. තුන්වන වරත් ඒ පරිව්රාජිකාව පරිව්රාජකයාට “බ්රාහ්මණය, තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ නම් එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය.
එසමයෙහි පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයෙහි ශ්රමණයකුට හෝ බ්රාහ්මණයකුට ගිතෙල් හෝ තලතෙල් ආදි තෙල් හෝ ඇති තාක් බොන්නට දෙනු ලැබේ. බැහැරැ ගෙනැ යන්නට නො දෙනු ලැබේ.
ඉක්බිති ඒ පරිව්රාජකයාහට “පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාර යෙහි ශ්රමණයකුට හෝ බ්රාහ්මණයකුට හෝ ගිතෙල් හෝ (තලතෙල් ආදි) තෙල් හෝ ඇති තාක් බොන්නට දෙනු ලැබේ. බැහැර ගෙනැ යන්නට නො දෙනු ලැබේ. යම් හෙයකින් මම පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් යම් ඒ තෙලක් වැදූ මැයට උපකාර වන්නේ නම්, ඒ තෙල් ඇති තාක් බී ගෙට අවුත් වමාරා දෙන්නෙම් නම් මැනැවැ”යි මෙබඳු සිතෙක් විය.
ඉක්බිති ඒ පරිව්රාජක තෙමේ පසේනදී කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් තෙල් ඇති තාක් බී ගෙට අවුත් වමාරන්නට ද විරේක කරන්නට ද නො හැකි වෙයි. හේ දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දේ ඔබ මොබ පෙරැළෙයි. හාත්පස පෙරැළෙයි.
එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පෙරව පාසිවුරු ගෙනැ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්යවතුන් වහන්සේ දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද, ඔබ මොබ පෙරැළෙන, හාත්පස පෙරැළෙන, ඒ පරිව්රාජකයා දුටු සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“යම් කෙනෙක් (රාගාදි) පළිබෝධ නැත්තාහු ද (ඔහු) ඒකාන්තයෙන් සුඛිත වෙත්. (ආර්ය්ය මාර්ග සඞ්ඛ්යාත) වේදයෙන් (නිවනට) පැමිණි ඒ ක්ෂීණාස්රවයෝ තුමූ ඒකාන්තයෙන් (රාගාදි) පළිබෝධ නැතියව්හි. ජන තෙමේ (අන්ය) ජනයා කෙරෙහි බැඳී ගිය සිත් ඇත්තේ ය. (එහෙයින්) දුකට පැමිණෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව.”
2. 7.
ඒකපුත්ර සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
එසමයෙහි එක්තරා උපාසකයකු ගේ ප්රිය වූ මනාප වූ එක ම පුත්රයා කලුරිය කෙළේ වෙයි. ඉක්බිති බොහෝ උපාසකයෝ තෙත් වූ වස්ත්ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මධ්යාහ්න වෙලාවෙහි භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නෝ ය. භාග්යවතුන් වහන්සේ එකත්පසෙක හුන්නා වූ ඒ උපාසකයනට “උපාසකයිනි, කවර හෙයෙකින් තෙපි මධ්යාහ්නවේලාවෙහි තෙත් වූ වස්ත්ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මෙහි පැමිණියහු දැ?”යි අසා වදාළ සේක.
මෙසේ වදාළ කල්හි ඒ උපාසක තෙමේ භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, මට ප්රිය වූ මනාප වූ එක ම පුත්රයෙක් විය. ඒ පුත්රයා කලුරිය කෙළේ ය. ඒ හේතුවෙන් අපි තෙත් වූ වස්ත්ර ඇත්තමෝ, තෙත් වූ කෙස් ඇත්තමෝ මධ්යාහ්නවේලාවෙහි මෙහි පැමිණියම්හ යි කී ය.