2. 3.
දණ්ඩ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි බොහෝ කුඩා දරුවෝ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි දී නයකු දණ්ඩෙකින් පෙළත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙනැ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි නාගයකු දණ්ඩෙකින් පෙළන ඒ බොහෝ කුඩා දරුවන් දුටු සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
“යමෙක් තමාහට සුව සොයන්නේ, සුව කැමැති සතුන් දඬුවමින් පෙළා ද, හේ පරලොවැ සුවක් නො ලබයි.
යමෙක් තමාගේ සුව සොයන්නේ සුව කැමැති සතුන් දඬුවමින් නො පෙළා ද, හෙ තෙමේ පරලොවැ සුව ලබයි”.
2. 4.
සත්කාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දාහු, ගුරුකාර කරන ලද්දාහු, බුහුමන් කරන ලද්දාහු, පුදන ලද්දාහු, අපචායන කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් ලබන සුලු වූවාහු වෙති. භික්‍ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායන කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු වූයේ වෙති.
අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායන නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති. යළි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේට ද, භික්‍ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ, ගමෙහි ද වෙනෙහි ද භික්‍ෂූන් දැකැ අසභ්‍ය වූ කර්‍කශ වූ වචනවලින් ආක්‍රෝශ කෙරෙති. තර්‍ජනය කෙරෙති. දොස් කියති. වෙහෙසති.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නෝ ය. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, මෙපවත් සැළ කළහ:
“ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද සේක්, ගුරුකාර කරන ලද සේක්, බුහුමන් කරන ලද සේක්, පුදන ලද සේක්, අපචායනය කරන ලද සේක්, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු සේක් වෙති. භික්‍ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය කරන ලද්දේ, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු වෙයි. අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායනය නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති.
වැළි දු ස්වාමීනි, ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේට ද, භික්‍ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ ගමෙහි ද, වෙනෙහි ද, භික්‍ෂූන් දැකැ අසභ්‍ය වූ කර්‍කශ වූ වචනයෙන් ආක්‍රෝශ කෙරෙති, තර්‍ජනය කෙරෙත්, දොස් කියති, වෙහෙසති” යනුයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වේලාවෙහි මේ උදානය පහළ සේක:
ගමෙහි හෝ වෙනෙහි සුව දුක් දෙකින් ස්පර්‍ශ කරන ලද්දේ (හෙවත්) සුව දුක් විඳින්නේ තමාගේ වශයෙන් හෝ මෙරමාගේ වශයෙන් හෝ නො සලකන්නේ ය. (සුව දුක් වශයෙන් වින්ද යුතු) ස්පර්‍ශයෝ (ඛන්‍ධ පඤ්චක සඞ්ඛ්‍යාත) උපධිය නිසා ස්පර්‍ශ කෙරෙති. ස්පර්‍ශයෝ උපධි රහිත තැනැත්තහු කිමෙකින් ස්පර්‍ශ කෙරෙත් ද, (නො කෙරෙත් ම ය.)