2. 4.
සත්කාර සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි භාග්යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දාහු, ගුරුකාර කරන ලද්දාහු, බුහුමන් කරන ලද්දාහු, පුදන ලද්දාහු, අපචායන කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාරයන් ලබන සුලු වූවාහු වෙති. භික්ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායන කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාරයන් ලබන සුලු වූයේ වෙති.
අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායන නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති. යළි ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ භාග්යවතුන් වහන්සේට ද, භික්ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ, ගමෙහි ද වෙනෙහි ද භික්ෂූන් දැකැ අසභ්ය වූ කර්කශ වූ වචනවලින් ආක්රෝශ කෙරෙති. තර්ජනය කෙරෙති. දොස් කියති. වෙහෙසති.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නෝ ය. එකත් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට, මෙපවත් සැළ කළහ:
“ස්වාමීනි, දැන් භාග්යවතුන් වහන්සේ සත්කාර කරන ලද සේක්, ගුරුකාර කරන ලද සේක්, බුහුමන් කරන ලද සේක්, පුදන ලද සේක්, අපචායනය කරන ලද සේක්, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාරයන් ලබන සුලු සේක් වෙති. භික්ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය කරන ලද්දේ, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාරයන් ලබන සුලු වෙයි. අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායනය නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති.
වැළි දු ස්වාමීනි, ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ භාග්යවතුන් වහන්සේට ද, භික්ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ ගමෙහි ද, වෙනෙහි ද, භික්ෂූන් දැකැ අසභ්ය වූ කර්කශ වූ වචනයෙන් ආක්රෝශ කෙරෙති, තර්ජනය කෙරෙත්, දොස් කියති, වෙහෙසති” යනුයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වේලාවෙහි මේ උදානය පහළ සේක:
ගමෙහි හෝ වෙනෙහි සුව දුක් දෙකින් ස්පර්ශ කරන ලද්දේ (හෙවත්) සුව දුක් විඳින්නේ තමාගේ වශයෙන් හෝ මෙරමාගේ වශයෙන් හෝ නො සලකන්නේ ය. (සුව දුක් වශයෙන් වින්ද යුතු) ස්පර්ශයෝ (ඛන්ධ පඤ්චක සඞ්ඛ්යාත) උපධිය නිසා ස්පර්ශ කෙරෙති. ස්පර්ශයෝ උපධි රහිත තැනැත්තහු කිමෙකින් ස්පර්ශ කෙරෙත් ද, (නො කෙරෙත් ම ය.)
2. 5.
උපාසක සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි ඉච්ඡානඞ්ගල නම් බමුණුගමැ වැසි එක්තරා උපාසකයෙක් කිසි යම් කටයුත්තෙකින් සැවැත්නුවරට පැමිණියේ ය. ඉක්බිති ඒ උපාසක තෙමේ සැවැත්නුවර ඒ කටයුත්ත නිමවා භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹැ භාග්යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ උපාසකයාට භාග්යවතුන් වහන්සේ උපාසකයෙනි, තෙපි බොහෝ කලෙකින් මෙහි පැමිණියහු යැ”යි වදාළ සේක.
“ස්වාමීනි, මම් බොහෝ කලෙක පටන් භාග්යවතුන් වහන්සේ දකින්නට එනු කැමැත්තෙම් වීමි. එසේ වුවත් මම යම් කුදු මහත් කටයුතුවල යෙදී සිටියෙමි. මේ හෙයින් ම මට භාග්යවතුන් වහන්සේ දකින්නට එන්නට නො හැකි වී යැ”යි. උවසු කීය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
“යමකුට (රාගාදි) පළිබෝධයෙක් නැත් ද, මනා කොට සිද්ධ කරන ලද (මාර්ග) ඇති, (එහෙයින්ම ප්රතිවේධ බහුශ්රැතත්වයෙන්) බහුශ්රුත වූ, ඒ ක්ෂීණාස්රවයාට ඒකාන්තයෙන් සුවෙකි. එහෙයින් ම පෙළෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව. ජන තෙමේ (අන්ය) ජනයා කෙරෙහි බැඳී ගිය ස්වභාව ඇත්තේ ය.”
2. 6.
ගර්භිනී සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එ සමයෙහි එක්තරා පරිව්රාජකයකුගේ තරුණ වූ මෙණෙවියක් (බමුණුදුවක්) භාර්ය්යා වූවා, හටලත් දරුගප් ඇත්තී (අද හෙටැයි) එළැඹැ සිටි වදන කල්ඇත්තී වෙයි.
ඉක්බිති ඒ පරිව්රාජිකාව පරිව්රාජකයාහට, “බ්රාහ්මණය තෝ යා. යම් ඒ තෙලක් වැදූ මට උපකාර වේ ද එබඳු තෙලක් ගෙනැ එව”යි මෙ බස් කිවු ය. මෙසේ කී කල්හි ඒ පරිව්රාජක තෙමේ ඒ පරිව්රාජිකාවට “පින්වතිය, මම කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. දෙවෙනි වරටත් ඒ පරිව්රාජිකාව ඒ පරිව්රාජකයාට, “බ්රාහ්මණය තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ ද, එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය. දෙවෙනි වරත් ඒ පරිව්රාජක තෙමේ ඒ පරිව්රාජිකාවට “පින්වතිය, මම් කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. තුන්වන වරත් ඒ පරිව්රාජිකාව පරිව්රාජකයාට “බ්රාහ්මණය, තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ නම් එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය.