2. 2.
රාජ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එ සමයෙහි පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණු, දම්සබා මඬුවෙහි හුන්නාවූ, (ඒ ඒ තැනින්) රැස් වූ බොහෝ භික්ෂූන් අතර මේ අතුරු කථාව උපන:
“ඇවැත්නි, මගධාපති සේනිය බිම්බිසාර රජ හෝ කෝශලාධිපති පසේනදි රජ හෝ (යන) මේ දෙ රජුන් අතුරෙන් කවරෙක් අතිශයින් මහද්ධන ඇත්තේ හෝ අතිශයින් මහද්භෝග ඇත්තේ හෝ අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඍද්ධි ඇත්තේ හෝ අතිශයින් මහත් ආනුභාව ඇත්තේ හෝ වේ ද?” යනු යි. ඒ භික්ෂූන්ගේ මේ අතුරු කථාව වූ කලි කොට අඩාළ වූයේ වෙයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටි සේක්, දම්සබාමඩුව වෙත වැඩි සේක. වැඩැ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. භාග්යවතුන් වහන්සේ (එහි) වැඩැ හිඳැ, “මහණෙනි, (තෙපි) දැන් මෙහි රැස් වූවාහු කවර නම් කථාවෙකින් යුක්ත ව හුන්නහු ද? තොපගේ අඩාළ වූ අතුරු කථාව කවර දැ”යි භික්ෂූන් ඇමුතූ සේක.
ස්වාමීනි, මෙහි පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළැකුණු, දම්සබා මඬුවෙහි ( ඒ ඒ තැනින්) රැස් වූ අප අතරැ, “ඇවැත්නි, මගධාපති සේනිය බිම්බිසාර රජ හෝ කෝශලාධිපති පසේනදි රජ හෝ (යන) මේ දෙ රජුන් අතුරෙන් කවරෙක් අතිශයින් මහද්ධන ඇත්තේ හෝ අතිශයින් මහද්භෝග ඇත්තේ හෝ, අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ, අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ, අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ, අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඍද්ධි ඇත්තේ හෝ අතිශයින් මහත් අනුභාව ඇත්තේ හෝ වේ ද?” යි මේ අතුරු කථාව උපන. ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව අඩාළ විය. එකල්හි භාග්යවතුන් වහන්සේ වැඩැ වදාළ සේකැ”යි කීහු.
එවිට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “මහණෙනි, තෙපි මෙබඳු කථා කරන්නහුය යන යමෙක් ඇද්ද, එය ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්මැ ශාසනයට පැමිණි කුලපුත්ර වූ තොපට සුදුසු නො වෙයි. මහණෙනි, (යම් තැනකට) රැස්වූ තොප විසින් දෙකක් කටයුතු ය: දැහැමි කථාව හෝ ආර්ය්ය වූ තූෂ්ණීම්භාවය හෝ”යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලායෙහි මේ උදානය පහළ කළ සේක:
“ලෝකයෙහි යම් කාම සැපයෙක් වේ ද, යම් මේ දෙව්ලොව උපදනා (දෙවියන්ගේ ද මනුෂ්යයන්ගේ ද රූපසමාපත්ති) සැපයෙක් වේ ද, මේ (සියලු) සැප තෘෂ්ණාක්ෂය සඞ්ඛ්යාත නිවන් සැපයාගේ සොළොස් කලාවෙන් කලාවක් ද නො අගනේ ය”යනු යි.
2. 3.
දණ්ඩ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි බොහෝ කුඩා දරුවෝ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි දී නයකු දණ්ඩෙකින් පෙළත්. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙනැ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි නාගයකු දණ්ඩෙකින් පෙළන ඒ බොහෝ කුඩා දරුවන් දුටු සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
“යමෙක් තමාහට සුව සොයන්නේ, සුව කැමැති සතුන් දඬුවමින් පෙළා ද, හේ පරලොවැ සුවක් නො ලබයි.
යමෙක් තමාගේ සුව සොයන්නේ සුව කැමැති සතුන් දඬුවමින් නො පෙළා ද, හෙ තෙමේ පරලොවැ සුව ලබයි”.