1. 4.
න්‍යග්‍රෝධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ (බුදු වැ) පළමු ව (පස්වන සතියෙහි) උරුවෙල්දනව්වෙහි නිල්දලා නී තෙරැ අජපල් නුගරුක් මුලැ වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක් සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟී සිටි සේක. එ කල්හි හුහුංකජාතික වූ එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වන්නට නිසි සිතැ රැඳැවිය යුතු (සිහි කටයුතු) කථා කොට නිමවා එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියේ ම එ බමුණු භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීය.
“භවද්ගෞතමයිනි, කොතෙකින් බමුණෙක් වේ ද? බමුණුබව කරණ දහම්හු කවුරු නම් වෙත් දැ?”යී
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යම් බමුණෙක් බැහැරැ ලූ පාපධර්‍ම ඇතියේ ද, (ක්‍රෝධ මාන විසින්) හුහුංකාර නැත්තේ ද, කෙලෙස්කසට නැත්තේ ද, සංයත වූ සිතැත්තේ ද, සිවුමඟ නුවණින් නිවනට පැමිණියේ වේ ද, වැසනිමැ වූ මඟබඹසර ඇත්තේ ද, යමකුගේ (සතන්හි) ලොවැ කිසි අරමුණෙක්හි දු උත්සදයෝ (නැඟ එන රාගාදිහු) නැත් ද, හෙ තෙමේ “මම් බමුණුමි”යි බ්‍රහ්මවාදය කියනුයේ දහම් නයින් කියන්නේ ය”යනු යි.
1. 5.
ස්ථවිර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාහ. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ඒ ආයුෂ්මතුන් දුර දී ම දුටු සේක. දැක “මහණෙනි, මේ බමුණෝ එති. මහණෙනි, මේ බමුණෝ එති”යි භික්‍ෂූන් ඇමැතූ සේක.
මෙසේ වදාළ කල්හි බ්‍රාහ්මණ ජාතික වූ එක්තරා භික්‍ෂුවෙක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කොපමණෙකින් බමුණෙක් වේ ද? බමුණු බව කරන ධර්‍මයෝ කවරහු දැ”යි මෙය කීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“යම් කෙනෙක් ලාමක අකුශල ධර්‍මයන් දුරු කොට හැම කල්හි ස්මෘතිමත් ව හැසිරෙත් ද, ක්‍ෂය කරන ලද සංයෝජන ඇති, චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධය කළා වූ ඔවුහු ඒකාන්තයෙන් ලෝකයෙහි බ්‍රාහ්මණ වෙත්.
1. 6.
කාශ්‍යප සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කාලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආබාධික ව දුඃඛිත ව දැඩි ගිලන් ව පිප්ඵලි ගුහාවෙහි වසන සේක.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි සේක. පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට “මම් රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් මැනැවැ”යි මෙබඳු සිතෙක් පහළ විය.
එසමයෙහි පන්සියක් පමණ දෙවඟනෝ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට පිණ්ඩපාතය පිළිලබවනු පිණිස උත්සුක බවට පැමිණියාහු වෙති.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඒ පන්සියක් පමණ දෙවඟනන් පිළිකෙවු කොට පෙරවරු වේලෙහි හැඳැ පෙරෙ වැ පාසිවුරු ගෙන රජගහනුවර දිළිඳුන් වසන, දුප්පත් මිනිසුන් වසන, පෙහෙරුන් වසන වීදියට පිඬු පිණිස පිවිසි සේක.
භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර දිළඳුන් දුගීන් පෙහෙරුන් වසන වීදියෙහි පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ දුටු සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍ය පහළ කළ සේක: