1. 5.
ස්ථවිර සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථිවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමෞද්ගල්යාන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාත්යායන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද භාග්යවතුන් වහන්සේ කරා පැමිණියාහ. භාග්යවතුන් වහන්සේ එන්නාවූ ඒ ආයුෂ්මතුන් දුර දී ම දුටු සේක. දැක “මහණෙනි, මේ බමුණෝ එති. මහණෙනි, මේ බමුණෝ එති”යි භික්ෂූන් ඇමැතූ සේක.
මෙසේ වදාළ කල්හි බ්රාහ්මණ ජාතික වූ එක්තරා භික්ෂුවෙක් භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, කොපමණෙකින් බමුණෙක් වේ ද? බමුණු බව කරන ධර්මයෝ කවරහු දැ”යි මෙය කීය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“යම් කෙනෙක් ලාමක අකුශල ධර්මයන් දුරු කොට හැම කල්හි ස්මෘතිමත් ව හැසිරෙත් ද, ක්ෂය කරන ලද සංයෝජන ඇති, චතුරාර්ය්යසත්යාවබෝධය කළා වූ ඔවුහු ඒකාන්තයෙන් ලෝකයෙහි බ්රාහ්මණ වෙත්.
1. 6.
කාශ්යප සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කාලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ ආබාධික ව දුඃඛිත ව දැඩි ගිලන් ව පිප්ඵලි ගුහාවෙහි වසන සේක.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි සේක. පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේට “මම් රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් මැනැවැ”යි මෙබඳු සිතෙක් පහළ විය.
එසමයෙහි පන්සියක් පමණ දෙවඟනෝ ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේට පිණ්ඩපාතය පිළිලබවනු පිණිස උත්සුක බවට පැමිණියාහු වෙති.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ ඒ පන්සියක් පමණ දෙවඟනන් පිළිකෙවු කොට පෙරවරු වේලෙහි හැඳැ පෙරෙ වැ පාසිවුරු ගෙන රජගහනුවර දිළිඳුන් වසන, දුප්පත් මිනිසුන් වසන, පෙහෙරුන් වසන වීදියට පිඬු පිණිස පිවිසි සේක.
භාග්යවතුන් වහන්සේ රජගහනුවර දිළඳුන් දුගීන් පෙහෙරුන් වසන වීදියෙහි පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ දුටු සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ ප්රීතිවාක්ය පහළ කළ සේක:
“අනෙකකු පෝෂණය නො කරන සුලු, ප්රසිද්ධ වූ (ඉන්ද්රිය දමනයෙන්) දැමුණු, (විමුක්ති) සාරයෙහි පිහිටි, ක්ෂීණ ආස්රව ඇති, දුරු කරනලද (රාගාදි) දොස් ඇති, ඒ උත්තමයා බ්රාහ්මණයෙකැ යි මම් කියමි”.
1. 7.
පාවා සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ පාවානුවර අජකලාපක (නම්) චෛත්යය සමීපයෙහි අජකලාපක නම් යක්ෂයාගේ දෙවොලෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්යවතුන් වහන්සේ රෑ බොල් අඳුරුයෙහි අභ්යවකාශයෙහි වැඩ හුන් සේක. වැස්ස ද එක එක බින්දුව හෙළයි. එ කල්හි අජකලාපක යක්ෂ තෙමේ භාග්යවතුන් වහන්සේට බිය, තැති ගැන්ම, ලොමුදහ ගැන්ම උපදවනු කැමැත්තේ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්යවතුන් වහන්සේට නුදුරෙහි තුන්වරක් “අක්කුල පක්කුල”යැ යි (අනුකරණ ශබ්දයක්) කෙළේ ය. “ශ්රමණයන් වහන්ස, මුබ වෙත මේ පිසාචයෙක් පැමිණියේ යැ” යි කීයේ ය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණු දැන ඒ වෙලාවෙහි මේ ප්රීතිවාක්ය පහළ කළ සේක:
“යම් කලෙක්හි (බාහිත පාප) බ්රාහ්මණ තෙමේ ස්වකීය ධර්මයන්හි පරතෙරට ගියේ (වේ ද), එ කල්හි (ඒ බ්රාහ්මණ තෙමේ) මේ පිසාචයා ද පක්කුල ශබ්දය ද ඉක්මැ සිටී.”
1. 8.
සඞ්ග්රාමජිත් සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ දැකීම පිණිස සැවැත්නුවරට පැමිණියේ ය. ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්ය්යාව “සඞ්ග්රාමජිත් ආර්ය්යයන් වහන්සේ සැවැත් නුවරට වැඩියෝ ලු”යි ඇසුවා ය. ඕ තොමෝ දරුවා රැගෙන ජේතවනයට ගියා ය.
එසමයෙහි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිර තෙමේ එක්තරා රුකක් මුල දිවාවිහාරයෙහි හුන්නේ වෙයි. එකල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පෙරබිරිය සඞ්ග්රාමජිත් ස්ථවිරයන් වෙත එළැඹියා ය. එළැඹැ ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරුන්හට “ශ්රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පුස්නේ යැ”යි කීවා ය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය.
දෙවෙනි වරත් ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරුන්ගේ පුරාණ භාර්ය්යාව ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරුන්හට “ශ්රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පෝෂණය කරන්නැයි”යි කීවා ය. දෙවැනි වරත්, ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරණුවෝ නිශ්ශබ්ද විය. තුන්වැනි වරත් ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිර තෙමේ තුෂ්ණීම්භූත විය.
ඉක්බිති ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්ය්යාව ඒ දරුවා ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන් ඉදිරියෙහි දමා “ශ්රමණයන් වහන්ස, මේ තෙමේ තොපගේ පුත්රයා ය. මොහු පෝෂණය කරන්නැ”යි කියා නික්ම ගියා ය.