1. 3.
තෘතීය බෝධි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පළමුවෙන් ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගි සිට, රෑ පැසිම් යම්හි, “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදනේ ය. මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යැ”යි. අනුලෝම ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාදය මොනොවට මෙනෙහි කළ සේක. හෙ කෙසේයයත්: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු වෙත් (උපදිත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ.
අවිද්‍යාවගේ ම වූ කලි නිරවශේෂ නිරෝධයෙන් සංස්කාරයන්ගේ නිරෝධය වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැම අයුරින් මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (රහත්හට) යම් ක්‍ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද, එ කලැ හේ හිරුහු (අඳුර දුරැලා) අහස බබුළුවන්නහු මෙන් මරසෙන් විධ්වස්ත (කම්පිත) කෙරෙමින් සිටී” යනු යි.
1. 4.
න්‍යග්‍රෝධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ (බුදු වැ) පළමු ව (පස්වන සතියෙහි) උරුවෙල්දනව්වෙහි නිල්දලා නී තෙරැ අජපල් නුගරුක් මුලැ වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක් සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟී සිටි සේක. එ කල්හි හුහුංකජාතික වූ එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වන්නට නිසි සිතැ රැඳැවිය යුතු (සිහි කටයුතු) කථා කොට නිමවා එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියේ ම එ බමුණු භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීය.
“භවද්ගෞතමයිනි, කොතෙකින් බමුණෙක් වේ ද? බමුණුබව කරණ දහම්හු කවුරු නම් වෙත් දැ?”යී
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යම් බමුණෙක් බැහැරැ ලූ පාපධර්‍ම ඇතියේ ද, (ක්‍රෝධ මාන විසින්) හුහුංකාර නැත්තේ ද, කෙලෙස්කසට නැත්තේ ද, සංයත වූ සිතැත්තේ ද, සිවුමඟ නුවණින් නිවනට පැමිණියේ වේ ද, වැසනිමැ වූ මඟබඹසර ඇත්තේ ද, යමකුගේ (සතන්හි) ලොවැ කිසි අරමුණෙක්හි දු උත්සදයෝ (නැඟ එන රාගාදිහු) නැත් ද, හෙ තෙමේ “මම් බමුණුමි”යි බ්‍රහ්මවාදය කියනුයේ දහම් නයින් කියන්නේ ය”යනු යි.