3. 7.
57. ලෝකයෙහි නිවනෙක් නැත, කාය විවේකයෙන් කුමක් කෙරෙහි, කාමක්‍රීඩාරති වළඳ කර, පසු වැ අනුතාප ඇති නො වා. (මාරයාගේ වචන යි.)
58. කාමයෝ විෂ පී සැත්හුල් වැනියහ. තෙල කාමයනට උපාදානස්කන්‍ධයෝ මස්ලොඹු වැනියහ. තෝ යම් කාමරතියක් කියෙහි ද ඒ දැන් මට අරතියෙකි.
59. හැම විෂයෙහි තෘෂ්ණා නසන ලද. මෝහස්කන්‍ධය පළන ලදි, මාරය මෙසේ දනුව. මාරය තෝ නටුයෙහි.
මෙසෙයින් සෙලා මෙහෙණ ගාථා කිවු යැ.
සෙලා ථේරීගාථා යි.
3. 8.
60. බුද්ධාදි ඍෂින් විසින් පැමිණිය යුතු (තදන්‍යයන් විසින්) දුකසේ නිපදවාලියහෙන අර්‍හත්ත්‍ව සඞ්ඛ්‍යාත යම් පරමාශ්වාස කාරණයෙක් ඇද්ද එය දෑගිලි නුවණැති ස්ත්‍රිය විසින් පැමිණෙන්නට නො හැක්ක.
61. සිත අර්‍හන්මාර්‍ග සමාධියෙන් මොනොවට සමාහිත කල්හි රහත් මාර්‍ගඥානය පවත්නා කල්හි සිව්සස් දහම් පරිඥා දි විසින් මොනොවට දක්මින් සිටිය දී ස්ත්‍රිභාවය අපට කුමක් කරන්නේ ද?
62. හැම විෂයෙහි තෘෂ්ණා නසන ලද, මෝහස්කන්‍ධය පළන ලදි, මාරය මෙසේ දනුව, මාරය තෝ නටුයෙහි.
මෙසෙයින් සෝමා මෙහෙණ ගාථා කිවු යැ.
සෝමා ථේරීගාථා යි.
තිකනිපාතය නිමි.
4. චතුක්කනිපාතය
4. 1.
63. සම්‍යක් සම්බුද්ධයන්ගේ අනුජාත පුත්‍ර වූ එහෙයින් මැ ඔබගේ දායාද වූ මොනොවට සමාහිත සිත් ඇති යම් කාශ්‍යප නම් ස්ථවිර කෙනෙක් පෙර විසූ කඳ පිළිවෙළ දත්තාහු ද ස්වර්‍ගය හා අපාය හා දිවැසින් දකිත් ද,
64. යළි ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණියාහු ද මේ ත්‍රිවිද්‍යාවන් හේතු කොට ගෙන ත්‍රිවිද්‍යාප්‍රාප්ත බ්‍රාහ්මණ වෙත් ද,
65. එසෙයින් මැ භද්‍රාකාපිලානී මෙහෙණ ත්‍රිවිද්‍යා ඇත්තී මරු පළවා හරින සුලුවී සෙන් සහිත මරු දිනා අන්තිම ශරීරය ධරයි.
66. අපි දෙදෙනමෝ ලොව ආදීනව දැක ඒ අපි උත්තමදමනයෙන් දැමුණමෝ ක්‍ෂීණාස්‍රව වූම්හ.
මෙසෙයින් භද්‍රාකාපිලානී මෙහෙණ ගාථා කිවු යැ.
භද්දාකාපිලානී ථේරීගාථා යි.
චතුක්ක නිපාතය නිමි.