3. 1.
39. පැවිදි වූ තැන් පටන් කොට මට පස්විසිවසක් ගෙවී ගියේ යැ. (මේ දෑතුර) කිසි කලෙක ලද චිත්තෝපශමයක් නො දනිමි.
40. භාවනා චිත්තයෙහි වශවර්තිභාවයක් නැති මම චිත්තශාන්තියක් නො ලැබ එයින් ජිනශාසනය සිහි කොට සංවේගයට පැමිණියමු.
41. (ජාතිජරාදි) බොහෝ දුඃඛධර්මයන් විසින් පහරන ලද අප්රමාදයෙහි ඇලුණු මට තෘෂ්ණාක්ෂය ලැබිණ, මවිසින් බුදුධශාසනය කරන ලද. තෘෂ්ණා වියළුණු තැන් පටන් කොට අද මට සත්වන දින වෙයි.
මෙසෙයින් සාමා මෙහෙණ ගාථා කිවු යැ.
සාමා ථේරීගාථා යි.
3. 2.
42. චිත්ත භාවනායෙහි වශවර්තී භාවයක් නැති මම චිත්ත ශාන්තිය නො ලදින් සතර පස් වරක් විහාරයෙන් බැස ගියෙමු.
43. මා විසින් ශ්රාද්ධෙය වූ (ඇදහියයුතු වූ) යම් මෙහෙණක් වූ ද මම ඒ මෙහෙණ කරා එළැඹියා වෙමි. ඒ මෙහෙණ ස්කන්ධ ධාතු ආයතන නිඃශ්රිත වූ දහමක් දෙසූ.
44. යම් පරිදි ඒ මෙහෙණ මට අනුශාසනා කළා ද ඇගේ ධර්මානු ශාසනය අසා සුඛසමර්පිත වැ සත් දිනක් එක් පලගෙහි හිණිමි. මෝහස්කන්ධය පළාපියා අටවන දින පා දිගු කළමු.
මෙසෙයින් උත්තමා මෙහෙණ ගාථා කිවු යැ.
උත්තමා ථේරීගාථා යි.
3. 3.
45. නිර්වාණප්රාප්තියට මාර්ග වූ යම් සප්තබෝධ්යඞ්ග කෙනෙක් ඇද්ද ඒ හැම මා විසින් බුදුරදුන් දෙසන ලද පරිදි භාවිතයහ.
46. ශූන්යතසමාපත්තිය ද අනිමිත්තසමාපත්තිය ද කැමති සේ ලබන, බුදුරදුන්ගේ ඖරස දුහිතෘ වූ මම් හැම කල්හි නිවන්හි ඇලුණුමු.
47. දිව්යමය වූත් මනුෂ්යමය වූත් යම් වස්තු කාම කෙනෙක් ඇද්ද ඒ හැම කාමයෝ මා විසින් සමුච්ඡේද විසින් සිඳුනා ලදහ. ජාති සංසාරය ක්ෂය කරන ලද, මින් මතු පුනර්භවයෙක් නැති.
මෙසෙයින් අන්ය උත්තමා නම් මෙහෙණක් ගාථා කිවු යැ.
උත්තමා ථේරීගාථා යි.
3. 4.
48. (මම්) ගිජුකුළු පව්වෙහි දිවාවිහාරයෙන් නික්ම සප්පිනිකා නදී තීරයෙහි දී දියෙහි බැස ගොඩ ආ ඇතක්හු දුටුමු.
49. පුරුෂයෙක් අකුස්සක් ගෙන පය දෙවයි ඉල්වයි, ඇත් පාද ප්රසාරණ කෙළේ යැ, පුරුෂ තෙම ඇතු පිට නැංගේ යි.
50. (පෙර) අදාන්ත වූ (ඇතරුවන්) විසින් දමනය කරනලද (එහෙයින් මැ) මිනිසුන්ගේ වසයට ගිය (ඇතු දැක) ඉක්බිති ඒ (ඇතුගේ) ක්රියා හේතුවින් මැ අරණට ගිය මම චිත්තසමාධාන කළමු.
මෙසෙයින් දන්තිකා මෙහෙණ ගාථා කිවු යැ.
දන්තිකා ථේරීගාථා යි.
3. 5.
51. උබ්බිරිය, තෝ ‘ම දියණියනි, ජීවන්තියෙනි’යි ආහ්වාන කෙරෙහි උබ්බිරිය (පළමු) තමා දනුව, තෙල සොහොන්හි සූවාසු දහසක් දෙනා දවන ලද, හැම දෙනා ජීවන්තිය සමාන නම් ඇත්තාහ. උන් කෙරෙහි කවරක සඳහා ශෝක කරව.
52. යම් හෙයකින් සොවින් මඬනා ලද මා ගේ දුහිතෘශෝකය බැහැර කළ සේක් ද, එහෙයින් දැක්ක නො හෙන හදවත් ඇසිරි කළ මාගේ ශෝකශල්යය උපුළසේක් මැ යි.
53. ඒ මම් අද උපුළ හුල් ඇති වැ තෘෂ්ණා රහිත වැ (එහෙයින් මැ කෙලෙස් පිරිනිවනින්) පිරිනිවියා සර්වඥ වූ බුදුනුදු දහමුදු සඟුනුදු සරණ කොට එළඹෙමි.
මෙසෙයින් උබ්බරී මෙහෙණ ගාථා කිවු යැ.
උබ්බරී ථේරීගාථා යි.
3. 6.
54. යම් කෙනෙක් බුද්ධානුශාසනය දෙසන සුක්කා මෙහෙණ කරා නො එළඹෙත් ද රජගහනුවර වැසි මේ මිනිස්හු කුමක් කළාහු මධුපානය කළවුන් සෙයින් හිඳිත් ද?
55. නුවණැති පුරුෂයෝ (ශ්රෝතෲන්ගේ කන් පිණවනුයෙන්) නො බැහැර කළ හෙන පියවින් මැ රසවත් වූ එයින් මැ ඔදවත් වූ ඒ දහම (කාන්තාරයෙහි දී) මාර්ගිකයන් මේඝජලය බොන්නාක් මෙන් (සවන් දෝතින්) බොති’ සිතම්.
56. සුක්කා මෙහෙණ කුශල ධර්මයෙන් යුක්ත වැ පැහූ රාග ඇත්තී රහත් ඵලසමවතට වැදුණී වාහිනී සහිත මාරයා පරදවා අන්තිම දේහය දරයි.
මෙසෙයින් සුක්කා මෙහෙණ ගාථා කිවු යැ.
සුක්කා ථේරීගාථා යි.