9. 1. 1.
518. ‘ජරාමරණ දුකැ’යි (යථාභූත කොට) නො දන්නා පෘථග්ජනයෝ යම් පඤ්චුපාදානස්කන්ධයෙකැ බැඳුණාහු ද, ඒ දුක නුවණැති මහණ යම් කලෙකැ (මාර්ගඥානයෙන්) පිරිසිඳැ දැන සිහි ඇති වැ මැ (ලක්ෂණොපනිධ්යාන විසින්) ධ්යාන කෙරේ ද, ඒ (විදර්ශනා මාර්ග - ඵල) රතියට වඩා පරමතර රතියක් නො ලබයි.
519. යම් කලෙකැ (නුවණැති මහණ) දුක් එළවන විසත්තිකා නම් වූ (රාගාදි) ප්රපඤ්ච හා (ප්රවෘත්ති දුඃඛ) ඝටනාව හා දුක් දනවන තෘෂ්ණාව ප්රහාණ කොට සිහි අති වැ ධ්යාන කෙරේ ද, (එකලැ) එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
520. යම් කලෙකැ (නුවණැති මහණ) ක්ෂේම වූ මාර්ගයන් අතුරෙහි උත්තම වූ හැම කෙලෙස් සෝදාහරින ආර්ය්යඅෂ්ටාඞ්ග මාර්ගය නුවණින් දැක සිහි ඇති වැ මැ ධ්යාන කෙරේ ද (එකලැ) එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
521. යම් කලෙකැ (නුවණැති මහණ) ශෝක රහිත වූ පහවූ (රාගාදි) රජස් ඇති (ප්රත්යයන් විසින් නො කරනලද හෙයින්) අසංස්කෘත වූ හැම කෙලෙස් සෝදාහරින කාරණ වූ සංයෝජන සඞ්ඛ්යාත බන්ධන සිඳුනා ශාන්ත වූ (නිර්වාණ) පදය වඩා ද, (එකලැ) එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
522. යම් කලෙකැ අහස්හි දිවබෙර ගුගුරා ද (මේඝගර්ජනා කෙරේ ද) නුඹකුසැ හාත්පසින් වැසි දහර ගැවසුණේ ද මහණ තෙමේත් පබ්භාරගත වැ මැ ධ්යාන කෙරේ ද එකල්හි එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
523. යම් කලෙකැ (නුවැණැති මහණ) විසිතුරු වනකුසුම්කැන් ඇති ගිලිහුණු කුසුමින් ගැවැසිගත් නදීන්ගේ තීරයෙහි හුන්නේ (උතුරුමිනිස්දමින්) සුන්දරසිත් ඇතිවැ මැ ධ්යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විදි යි.
524. යම් කලෙකැ රැය ජනශූන්ය වනයෙහි වැසිදහර ගලනා කල්හි ව්යාලමෘගයෝ නද දෙත් ද මහණ තෙමේත් ගල්බෙයද වාසගත වැ මැ ධ්යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විඳියි.
525. යම් කලෙකැ තමාගේ (සන්තානයෙහි කාමාදි) විතර්කයන් වළකා පර්වත අතුරෙහි ගල්ගුහා ඇසුරු කෙළේ පහවූ (ක්ලේශ) දරථ ඇති වැ ප්රහීණ වූ චේතෝඛිල ඇති වැ ධ්යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විඳියි.
526. යම් කලෙකැ නුවණැති මහණ (ධ්යානසුඛයෙන්) සුඛිත වැ (රාගාදි) මල හා චේතෝඛිල හා ශෝක නසන (අවිද්යා සඞ්ඛ්යාත) අගුළු රහිත වැ තෘෂ්ණා රහිත වැ පහවූ (රාගාදි) හුල් ඇති වැ සියලු ආස්රවයන් විගතාන්ත කෙළේ මැ ධ්යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විඳී යයි.
මෙසෙයින් ආයුෂ්මත් භූත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
භූත ස්ථවිරගාථා යි.
උද්දානය:
නවක නිපාතයෙහි ඛග්ගවිෂාණවන් වූ සත්යය දක්නා භූත නම් වූ එක් තෙර කෙනෙකි, ගාථා ද මේ නවයයි.
නවක නිපාතය නිමි.