6. 1. 2.
381. වී කොටුගුළෙහි තබනලද, හැල් කලවිටෙහි රැස් කොට තබන ලද, පිඬු නො ලබමි. මම කෙසේ සානෙම් ද? (දිවි රක්නෙම් දැ?යි පාපී මාර කියයි.)
382. පහන්සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ බුදුන් සිහි කරව, (ඵරැණලක්‍ෂණ) ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල්හි නැගීසිටි සිත් ඇති වව.
383. පහන් සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ දහම් සිහි කරව, ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල් නිරතුරු නැගිසිටි සිත් ඇති වව.
384. පහන්සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ සඟුන් සිහි කරව. ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල්හි නැඟීසිටි සිත් ඇති වව. (තෙරණුවෝ තමනට ඕවා දෙති.)
385. (තෙපි) අබවස්හි වාස කරන්නවු යැ. මේ හේමන්තික රාත්‍රීහු සීතයහ සීතයෙන් මඬනාලදු වැ නහමක් නැසෙව. තෙපි වසනලද කවුළු ඇති වෙහෙරට පිවිසෙව. (පාපීමාර කියයි.)
386. සතර අප්‍රාමාණ්‍යයන් (බ්‍රහ්මවිහාරයන්) පහස්නෙමි. (කලින් කල සමවදනෙමි.) එයින් (උපන්) සුව ඇති වැ වාස කරන්නෙමි. මම ආනෙඤ්ඡ සමාපත්ති ඇති වැ වාස කරන්නෙම් සීතයෙන් නො නස්නෙමි’යි.
මෙසෙයින් ආයුෂ්මත් තෙකිච්ඡකානි ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
තෙකිච්ඡකානි ස්ථවිරගාථා යි.
6. 1. 3.
387. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් විද්‍යමාන නො වේ ද, (හෙතෙම) දියත්තෙකැ මසකු සෙයින් සදහමින් පිරිහෙයි.
388. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද, හේ කෙතෙහි කුණුවූ බිජුවට සෙයින් සදහම්හි නො වැඩේ.
389. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද, හේ ධර්‍මරාජයන් ගේ සස්නෙහි නිවනින් දුරු වෙයි.
390. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් විද්‍යමාන වේ ද, හේ දියඹෙහි මසකු සෙයින් සදහමින් නො පිරිහෙයි.
391. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් ඇද්ද, හේ කෙත්හි සොඳුරු බිජුවට සෙයින් සදහම්හි වැඩෙයි.
392. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් ඇද්ද, හේ ධර්‍මරාජයන්ගේ සස්නෙහි නිවන් ළඟ මැ වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් මහානාග ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
මහානාග ස්ථවිරගාථා යි.
6. 1. 4.
393. කුල්ල තෙරණු වූ මම අමුසොහොනට ගොස් සොහොන්හි හැරපියනලද කෘමීන් විසින් පැතිරගෙන කනුලබන ස්ත්‍රියක දිටිමි.
394. කුල්ල තෙරණුවනි, දුකින් පෙළනලද අපවිත්‍ර වූ කුණු වූ (උඩු වණමුවින් අසුචි) ඉතිරෙන (යටි වණමුවින් අසුචි) වැගිරෙන (අඳපුහුදුන්) බාලයන් විසින් (තෘෂ්ණාමානදෘෂ්ටින්) අභිනිවේශ කොට සතුටු වනලද සිරුර බලව.
395. විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත ධර්‍මාදර්‍ශය ගෙන මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයාගේ අධිගමය පිණිස සිස්වූ ඇතුළු බැහැරි සහිත මෙකය ප්‍රත්‍යවේක්‍ෂා කෙළෙමි.
396. මේ කය යම්සේ ද තෙල කය එසේ යැ, තෙල කය යම්සේ ද මේ කය එසේ යැ, (නාභියෙන් යට) අධඃකාය යම්සේ ද (නාභියෙන් මතු) ඌර්ධ්වකාය එසේ යැ උඩුකය යම්සේ ද යටිකය එසේ යි.
397. මේ කය දවහල්හි (අසුචි වගුරනුයේ) යම්සේ ද රාත්‍රියෙහි එසේ යැ, රාත්‍රියෙහි යම්සේ ද දහවල්හි එසේ යැ පෙර (තරුණකාලයෙහි අසුචි වගුරනුයේ) යම්සේ ද පසු (මහලු කල්හි) එසේ යැ. පසුකල්හි යම්සේ ද පෙරකල්හි එසේ යි.
398. යම්සේ එකඟසිත් ඇති මැනැවින් ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දක්නාහට යම් බඳු ධර්‍මරතියක් වේ ද එවන් රතියක් පසඟතුරුගෝසිනුදු නො වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් කුල්ල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
කුල්ල ස්ථවිරගාථා යි.