6. 1. 11.
435. මහණ, දුර්‍ලභප්‍රත්‍යය ඇති රූක්‍ෂ වූ මහවෙනෙහි වසන තෝ වාතරෝගයෙන් අවසභාවයට පමුණුවනලද්දෙහි කෙසේ වාස කරන්නෙහි ද?
436. මහත් වූ ප්‍රීතිසුඛයෙන් ශරීරය පතුරුවාගෙන ප්‍රත්‍යය රූක්‍ෂය පවා මැඩලමින් වනයෙහි වාස කරන්නෙමි.
437. සප්තබෝධ්‍යඞ්ගයන් ද (ශ්‍රද්ධාදි) පඤ්චේන්‍ද්‍රියයන් ද (ශ්‍රද්ධාදි) පඤ්චබලධර්‍මයන් ද වඩමින් ධ්‍යානසූක්‍ෂමභාව සඞ්ඛ්‍යාත අරූපධ්‍යාන සම්පන්න වූයෙම් ආස්‍රව රහිත වැ වාස කරන්නෙමි.
438. කෙලෙසුන් කෙරෙන් මිදුණු නො කැලඹුණු ශුද්ධචිත්තය එක්වන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ආස්‍රව රහිත වැ වාස කරන්නෙමි.
439. මාගේ ආධ්‍යාත්ම වූත් බාහ්‍ය වූත් යම් ආස්‍රව කෙනෙක් විද්‍යමාන වූහු ද එ හැම ශේෂ රහිත වැ සිඳුනාලද්දාහු යළි නූපදනාහ.
440. පඤ්චස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලද්දාහු සිඳුනාලද මුල් ඇති වැ සිටිති. දුඃඛක්‍ෂයට පැමිණියෙමි. මින් මතු පුනර්‍භවයෙක් නැතැ යි.
මෙසේ ආයුෂ්මත් නහාතකමුනි ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
නහාතකමුනි ස්ථවිරගාථා යි.
6. 1. 12.
441. ක්‍රෝධ රහිත වූ (රහත් මගින් ඉඳුරන් දමනය කිරීමෙන්) දාන්ත වූ සම වූ දිවිපැවැතුම් ඇති මැනැවින් දතයුතු දහම් දැනැ (ආස්‍රවයෙන්) විමුක්ත වූ උපශාන්ත වූ (ඉටු අනිටු අරමුණෙහි නො සැලෙන) තාදී ගුණ ඇතියාහට ක්‍රෝධයෙක් කොයින් ද?
442. යමෙක් තමා කෙරෙහි කිපියහුට පෙරළා කිපේ ද එයින් ඔහට මැ ඉතා අයහපතෙක් වෙයි. කිපියහුට පෙරළා නො කිපෙන්නේ දුර්‍ජය (ක්ලේශ) සඞ්ග්‍රාම දිනයි.
443. යමෙක් මෙරමා කිපියා දැනැ සිහි ඇති වැ (උපේක්‍ෂායෙන්) ඉවසා ද හෙතෙම තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට හිතයක් කරයි.
444. යම් කෙනෙක් (ආර්‍ය්‍ය ආචාර) ධර්‍මයෙහි නො නිපුණ වෙත් ද ඒ බාලජනයෝ තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට (ක්‍රෝධව්‍යාධි හරනට) පිළියම් කරන ඒ පුද්ගල ‘බාලයෙකැ’යි හඟිති.
445. ඉදින් (කමටහන්හි යෙදෙන තොපට) ක්‍රෝධය උපදී නම් (බුදුන් වදාළ) කකචූපම අවවාද මෙනෙහි කරව. ඉදින් රසයෙහි තෘෂ්ණා උපදී නම් පුත්‍රමාංශොපමාව සිහි කරව.
446. ඉදින් තොපගේ සිත පස්කම් ගුණයෙහි ද (කාමාදි) භවයෙහි ද දිවේ නම් (එසඳ) වහා සිහියෙන් ගොයම් කන නපුරු ගොනකු සෙයින් නිගනුව’යි.
මෙසෙයින් ආයුෂ්මත් බ්‍රහ්මදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
බ්‍රහ්මදත්ත ස්ථවිරගාථා යි.
6. 1. 13.
447. (ආපත්ති අනාරොවන විසින්) ප්‍රතිච්ඡන්න වූයේ අතිශයින් (ආපත්ති - ක්ලේශ) වර්‍ෂා කෙරෙයි (තෙමාලයි). විවෘත වූයේ නො වසී. එහෙයින් ප්‍රතිච්ඡන්නය විවෘත කරන්නේ යැ. මෙසේ ඒ ප්‍රතිච්ඡන්නය (ඇවැත්වැසි - කෙලෙස්වැසි) නො වසී.
448. හැම කල්හි සත්ත්‍වලෝකය මරහු විසින් පහරනලද්දේ යැ. ජරාව විසින් පිරිවරනලද්දේ යැ. තෘෂ්ණාශල්‍ය විසින් බැසගන්නා ලද්දේ යැ. (අරමුණ පතන) ඊප්සාව විසින් තවනලද්දේ යි.
449. සත්ත්‍වලෝකය මරහු පහරනලද්දේ යැ. ජරාව විසින් පිරිකෙව් ද කරනලද්දේ යැ. පැමිණි දඬුවම් ඇති සොරකු සෙයින් අසරණ වැ නිරතුරු පෙළෙයි.
450. මරණ යැ ව්‍යාධි යැ ජරා යැ යන තිදෙනා ගිනිකඳු සෙයින් එති. ප්‍රතිමල්‍ය වැ පෙරට යන්නට බලයෙක් නැත. (පිටුපෑ) පලායන්නට ජවයෙක් නැති.
451. මඳින් හෝ බෙහෙවින් හෝ (කරනලද විදර්‍ශනා මනසිකාරයෙන්) දවස නො සිස් කරන්නේ යැ. යම් යම් රාත්‍රියක් ඉක්මවා ද එයින් ඔහුගේ ජීවිතය ඌන වෙයි.
452. යන්නාහට වේවයි සිටුනාහට වේවයි හිඳුනාහට වේවයි ශයනය කරන්නාහට වේවයි පශ්චිමරාත්‍රිය එළැඹෙයි. තොපට පමාවන්නට මේ කල් නො වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සිරිමන්‍ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සිරිමන්‍ද ස්ථවිරගාථා යි.