5. 1. 10.
360. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු අහසට පොළොව මෙන් පිළිවෙත් සදහමින් දුරු වෙයි.
361. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු අවපසැ සඳ සෙයින් නවලොව්තුරු දහමින් පිරිහෙයි.
362. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු දියත්තක මසකු සෙයින් ලොවුතුරුදහම්හි වියැළෙයි.
363. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම ජිනශාසනය අසා නමුදු කෙතෙහි වපුළ කුණු වූ බිජුවට සෙයින් නවලොවුතුරු දහම්හි නො වැඩෙයි.
364. යමෙකුත් තුටුසිතින් ජිනශාසනය අසා නම්, (හේ) සියලු (කාමාදි) ආස්‍රවයන් ගෙවා අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කොට පරමශාන්තියට පැමිණ ආශ්‍රව රහිත වූයේ පිරිනිවේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් යසදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
යසදත්ත ස්ථවිරගාථා යි.
5. 1. 11.
365. මා විසින් (දුකසේ දසවග්ගික සඞ්ඝයා රැස් කොට ලත්) උපසම්පදාව ද (වරදාන විසින් පසල් දනව්වෙහි විනධරයා පස්වනු කොට ඇති ගණඋපසම්පදාව ද) ලදු ආස්‍රව රහිත වැ කෙලෙසුන් කෙරෙන් මිදුණෙම් ද වෙමි. මා විසින් ඒ බුදුහු ද දක්නා ලදහ. විහාරයෙහිදු (බුදුන්) සමග විසීමි.
366. බුදුහු රෑ බොහෝ වේලාවක් අභ්‍යවකාශයෙහි විසූහ. සිවුවිහරණයෙහි දක්‍ෂ වූ ශාස්තෘහු එකල්හි ගඳකිළියට පිවිසියහ.
367. ගොයුම්ගොත් බුදුහු සඟළසිවුර අතුරා ප්‍රහීණ වූ භය හා භය අරමුණු ඇති වැ සිංහයකු ශෛලගුහාවකැ සෙයින් ශයනය කළහ.
368. ඉක්බිති කල්‍යාණවාක්කරණ ඇති සම්‍යක්සම්බුද්ධ ශ්‍රාවක වූ සෝණකුටිකණ්ණ තෙම බුද්ධශ්‍රේෂ්ඨයන් හමියෙහි සදහම් දෙසී.
369. පඤ්චස්කන්‍ධයන් පිරිසිඳ දැන අරිඅටඟිමඟ වඩා පරමශාන්තියට පැමිණ ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සෝණ ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සෝණ ස්ථවිරගාථා යි.
5. 1. 12.
370 යමෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වදන් දන්නේ ධීර වූයේ ඒ ගුරුන්ගේ අවවාදයෙහි වසනුයේ එහි ප්‍රේම උපදවන්නේත් වේ ද, හෙතෙම භක්ති ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. (සිව්සස්දහම්) දැන (ලොවිලොව්තුරා) දහම්හි විශිෂ්ට ද වන්නේ යැ.
371. උපන් (ශීතොෂ්ණාදි ප්‍රකට වූත් රාගාදී ප්‍රතිච්ඡන්න වූත්) ආපදාවෝ බලවත් වූවාහු නුමුදු පටිසංඛානබලයෙහි සිටි යම් පුද්ගලයකු නො සලත් ද ඒ පුද්ගල තෙම පරාක්‍රම ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. (සිසුසස්දහම්) දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
372. යමෙක් ඒකාන්තයෙන් සමුද්‍රය මෙන් අකම්පිත වූයේ ස්ථිර වැ සිටියේ ද ගැඹුරු නුවණැත්තේ සියුම් අරුත් දන්නාසුලු වේ ද හෙතෙම (කෙලෙසුන් විසින්) පැහැරගත නො හැක්කේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. සිවුසස් දහම් දැන දහම් හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.