70. 1. 1.
1220. මා ගිහිගෙන් “අනගාරිය” සසුනට නික්මෙත් මැ මේ සැහැසි (තිලීජ්ජ) වූ (කාමාදිපාප) විතර්‍කයෝ ලාමක බැවින් ලුහුබඳිත්.
1221. සහස්‍රස්ථාමධනු ඇති, ධනුශ්ශිල්පය උගත්, මහධනුර්වේදී වූ උග්‍රපුත්‍රයෝ දහස් දෙනෙක් හාත්පසින් සර වගුරුවන්නාහු නමුදු ඔහු නො ‘පළා යනසුලු මා නො පෙළන්නාහ. (පෙළනු නො සමත්හ’යි සේ යි).
1222. ඉදින් මෙයටත් වැඩි මාගම්හු එන්නාහු නමුදු ඔහු ස්වකීය ධර්‍මයෙහි පිහිටි මා නො පෙළත් මැ යි (පෙළනු නො සමත්හ’යි සේ යි)
1223. මා විසින් පසක් කොට (හමුවෙහි) සූර්‍ය්‍යබන්‍ධු (හිරුගොත්) වූ සම්බුදුන් ගේ තෙල නිවන් ගමන් මඟ අසන ලදි. ඒ (විදසුන්) මඟැ මා සිත නිරත වේ.
1224. එම්බා කෙලෙස් මරුව, තෝ මෙසේ (අශුභ භාවනායෙහි ද විදර්‍ශනාභාවනායෙහි ද නිරත වැ) වෙසෙන මා වෙත එළඹියෙහි, යම්සේ මා ගේ (ආගිය) මඟ පවා (තෝ) නො දක්නෙහි නම් එසේ මරණය කරන්නෙමි.
1225. යමෙක් (අධිකුශල ධර්‍මයන්හි) උකටලි බවත් (පස්කම් ගුණයෙහි) ඇල්මත් ගෙහසිත (මිථ්‍යා) විතර්‍කයත් සර්‍වප්‍රකාරයෙන් හැරැදමා කිසි තැනෙක්හිදු තෘෂ්ණාව නො කරන්නේ නම් තෘෂ්ණායෙන් නික්මුණු (එහෙයින් මැ) තෘෂ්ණා රහිත වූ හෙතෙම ශ්‍රමණ වේ.
1226. මේ ලෝකයෙහි භූමිනිශ්ශ්‍රිත වූ ද ආකාශස්ථ (දෙව්ලෝ ඇසිරිකළ වූ ද ජගත් පර්‍ය්‍යාපන්න (ලෞකික) වූ යම්කිසි රූපජාතයෙක් වේ නම් (ඒ) සියල්ල වෙසෙසින් දිරයි, අනිත්‍ය යැයි මෙසේ ප්‍රතිවේධ කොට රහත්හු වෙසෙත්.
1227. දනෝ (ස්කන්‍ධාදි) උපධීන්හි බැඳුණාහු යැ, රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ද ගන්‍ධ-රසාලම්බනයන්හි ද යන මෙහි තෘෂ්ණා රහිත වූයේ කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ. යමෙක් මෙහි (තෘෂ්ණාලේපයෙන්) නො තැවරේ නම් ඔහු මුනි යැ යි (නුවණැතියෝ) කියත්.
1228. තවද (‘අධිච්චසමුප්පන්න’ වාදය හැර) සැටක් පමණ වූ මිසදිටුව ඇසුරු කළ අධර්‍ම (මිථ්‍යා) විතර්‍කයෝ පෘථග්ජන සමූහයා තුළ ප්‍රවිෂ්ට වූහ. යමෙක් කිසි තැනෙකැ (ශාශ්වතාදි) මිථ්‍යාදෘෂ්ටි) වර්‍ගගතයෙක් (තල්ලබ්ධිකයෙක්) නො වන්නේ නම් යළි දුර්‍භාෂිතයන් ගන්නා සුල්ලෙක් නො වන්නේ නම් හෙතෙම භික්‍ෂු නම් වේ.

නොහොත් ෂෂ්ඨාලම්බනය (ධර්‍මාලම්බන) ඇසුරු කළ බොහෝ වූ අධර්‍ම විතර්‍කයෝ ජනතාව තුළ පිවිසියහ. යමෙක් කිසි තැනෙකැ ක්ලේශවර්‍ගගතයෙක් නො වන්නේ නම් දුර්‍භාෂිත ගන්නාසුල්ලෙක් නො වන්නේ නම් යළි හෙතෙම භික්‍ෂු නම් වේ.
1229. නුවණැත්තේ දිගුකලක් මුළුල්ලෙහි සමාහිත වැ කොහොන් බව රහිත වැ නිපුණ වැ තෘෂ්ණා රහිත වැ නිවනට පැමිණියේ මුනිවැ සෝපාදිශේෂනිර්‍වාණධාතුයෙන් පිරිනිවියේ (අනුපාදිශෙෂනිර්‍වාණයට) කල් බලයි.
1230. ගෞතම ශ්‍රාවකය, (තෝ) මානය දුරුකර, (ජාති ආදි) සියලු මානපථය ද දුරුකර, මානපථයෙහි මුසපත් වූයේ දිගුකලක් විපිළිසර වී
1231. මකු බව විසින් ප්‍රජාව (ගුණ මැකීමෙන්) පිස්නාලද යැ. මානය විසින් නට ගුණ ඇත්තෝ නිරයට වැටෙත්. මානය විසින් නට ගුණ ඇති, නිරයට පැමිණි ජනයෝ දිගුකලක් මුළුල්ලෙහි සොවිත්.
1232. මාර්‍ගයෙන් දිනූ කෙලෙස් ඇති මොනොවට පිළිපන් මහණ තෙම කිසිකලෙක නො සොවී මැ යි හෙතෙම කීර්තියත් සුඛයත් විඳී තථභාවයට ගිය ඔහු ධර්‍මය දක්නෙකැ යි නුවණැතියෝ කීහු.
1233. එහෙයින් (තෝ) චේතෝඛිල රහිත වැ ප්‍රධන්වීර්‍ය්‍ය ඇති වැ නීවරණයන් ප්‍රහීණ කොට පිරිසිදු සිත් අති වැ සියලු මානය ද දුරු කොට සන්හුන් කෙලෙස් ඇති වැ ත්‍රිවිද්‍යායෙන් (දුක්) කෙළවරට පැමිණියෙක් වව.
1234. කාමරාගයෙන් දැවෙමි, මාගේ සිත හාත්පසින් දැවෙයි. ගෞතම (ගෝත්‍ර ඇති) යෙනි. අනුකම්පා කොට (රාගය) නිවන උපාය වදාළ මැනැවි.
1235. (අශුභයෙහි ශුභ යැයි) සංඥාවිපර්‍ය්‍යාසයෙන් තොපගේ සිත හාත්පසින් දැවෙයි. රාගය ඇසුරු කළ ශුභනිමිත්ත දුරු කරව.
1236. සංස්කාරයන් අනාත්ම වශයෙන් බලව, දුක් වශයෙන් බලව, ආත්මවශයෙන් නො බලව, මහාරාගය නිවව, පුනපුනා නො දැවෙව.
1237. සිත අවික්‍ෂිප්ත කොට (අරමුණෙහි) මොනවට පිහිටුවා අශුභානු දර්‍ශනායෙන් වඩව. තොප ගේ සිහිය කය අනුවගියා වේවා, නිර්වේද බහුලයෙක් වෙව.
1238. අනිමිත්තභාවනාව ද වඩව, මානානුසය ද දුරුකරව. මානාභිසමයෙන් උපශාන්ත වැ වෙසෙහි.
1239. යම් වචනයකින් තමා නො තවන්නේ නම් මෙරමාත් නො පෙළන්නේ නම් එ මැ වචනය කියන්නේ යැ, එකත්නෙන් ඒ වචනය සුභාෂිත වේ.
1240. යම් වචනයක් මෙරමා විසින් පිළිගන්නා ලද නම් යම් වචනයක් කියන්නේ මෙරමා ගේ අනිටු වචනයන් නො ගෙන ප්‍රිය වචනයක් මැ කියා නම් එ මැ ප්‍රිය වචනය කියන්නේ යි.
1241. සත්‍යය ඒකාන්තයෙන් අමෘතවචනයෙකි, තෙල සත්‍ය වචනය පුරාණධර්‍මයෙකි, සත්පුරුෂයෝ සත්‍ය වූ අර්‍ත්‍ථයෙහිත් ධර්‍මයෙහිත් පිහිටියාහු යැ යි (නුවණැතියෝ) කීහු.
1242. නිවනට පැමිණෙනු පිණිස දුක් කෙළවර කරනු පිණිස සර්‍වඥයන් වහන්සේ යම් ක්‍ෂේම වූ වචනයක් වදාරත් නම් ඒ වචනය ඒකාන්තයෙන් වචනයෙන් අතුරින් උතුමි.