2. 4. 9.
197. (මම සිහිනෙන්) අඹදලු බඳු පැහැ ඇති සිවුරක් දසරුයෙහි ලාගෙන ඇත්කඳෙහි හුන්නෙම් ගමට පිඬු පිණිස පිවිසියෙමි.
198. (මහාජන දර්‍ශනයෙන් ලජ්ජිත වැ) ඇත්කඳින් බැසැ (පිබිදියෙම්) එකල්හි සංවේගපත් වීමි. මම එකල්හි ජාතිම්දාදියෙන් දැපුණෙමි. දැන් මා විසින් අර්‍හත්ඵලය ලබනලදී.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උසභ ස්ථවිරයන් වහන්සේ ...
උසභ ස්ථවිරගාථා යි.
2. 4. 10.
199. ‘කප්පටකුර’ නම් මහණ තෙමේ ‘මේ මාගේ ජීර්‍ණවස්ත්‍රය’ යි (උපන් මිථ්‍යාවිතර්‍ක ඇත්තේ) පවිත්‍ර වූ පරිපූර්‍ණ වූ අමෘතඝටය ඇති කල්හි කෘතමාත්‍ර පැවිදි ඇත්තේ යැ, (මාගේ ශාසනය) ධ්‍යානයන් රැස් කරන්නට කරනලද (භාවනා) මාර්‍ග ඇත්තේ යි.
200. එම්බා කප්පටය, තෝ නො නිදව, (දේශනාහස්තයෙන්) තට කන්මුලැ පහර නො දෙන්නෙමි. කප්පටය, සඟමැද නිඳන තෝ පමණ නො දත්තෙහි යයි.
මෙසේ මේ ගාථා කප්පටකුර ස්ථවිරයන් වහන්සේ ...
කප්පටකුර ස්ථවිරගාථා යි.
සතරවැනි වර්‍ගය යි.
උද්දානය:
මිගසිර යැ, සීවක යැ, පණ්ඩිත වූ උපවාන යැ, ඉසිදින්න යැ, සම්බුලකච්චාන යැ, ඛිතක යැ, සෙලිස්සර යැ, නිසභ යැ, උසභ යැ, කප්පටකුර යැ යන දසතෙරුන්ගේ ගාථා යි.
පස්වැනි වර්‍ගය
2. 5. 1.
201. යම් ශාස්තෘ කෙනකුන් වෙත මේ බඳු ශ්‍රාවක තෙම ලොව්තුරුදහමක් සාක්‍ෂාත් කරන්නේ ද, ඒ බුදුහු අසිරිමත්හ, දහම්හු අසිරිමත්හ, අපගේ ශාස්තෲන් වහන්සේගේ (දශබලාදි) සම්පත්හු ආශ්චර්‍ය්‍යයෝ යි.
202. ගණන් නැති මහාකල්පයන්හි පඤ්චෝපාදානස්කන්‍ධයෝ මා විසින් ලබනලද්දාහු ය. ඔවුනතුරෙහි මේ පශ්චිම වූ පඤ්චස්කන්‍ධය යි. මේ අන්තිමශරීරය යි. ජාතිමරණ සහිත සංසාර සඞ්ඛ්‍යාත වූ පුනර්‍භවයෙක් දැන් නැතැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ...
කුමාරකාශ්‍යප ස්ථවිරගාථා යි.
2. 5. 2.
203. එකත්නෙන් යම් තරුණමහණෙක් බුදුසසුන්හි (අප්‍රමාද වැ) වෑයම් කෙරේ ද, (අවිද්‍යානිද්‍රායෙන්) නිදන්නන් අතුරෙහි (ශ්‍රද්ධාදීන් නිදි වරන්නේ වේ ද, ඔහු ගේ ජීවිතය නො සිස් වෙයි.
204. එහෙයින් නුවණැති මහණ තෙම බුදුන්ගේ අවවාදය සිහි කරන්නේ ශ්‍රද්ධා යැ ශීල යැ තුනුරුවන්හි ප්‍රසාද යැ සියුසස්දහම් දැකුම් යැ යන මෙහි ව්‍යායාම කරන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ධම්මපාල ස්ථවිරයන් වහන්සේ ...
ධම්මපාල ස්ථවිරගාථා යි.
2. 5. 3.
205. කවරක්හු ගේ ඉන්‍ද්‍රියයෝ අස්දම්සැරිහු විසින් මොනොවට දමනය කරනලද අසුන් මෙන් සන්හුන් බවට ගියාහු ද, ප්‍රහීණ වූ මානය ඇති අනාස්‍රව වූ තාදී (අකම්ප්‍ය) වූ කවරක්හට දෙවියෝ පවා කැමැති වෙත් ද,
206. මා ගේ ඉන්‍ද්‍රියයෝ අස්දම්සැරිහු විසින් මොනොවට දමනය කරනලද අසුන් මෙන් සන්හුන් බවට ගියාහු යැ, ප්‍රහීණ වූ මානය ඇති අනාස්‍රව වූ තාදී වූ මට දෙවියෝ පවා කැමැති වෙත් යයි.
මෙසේ මේ ගාථා බ්‍රහ්මාලි ස්ථවිරයන් වහන්සේ ...
බ්‍රහ්මාලි ස්ථවිරගාථා යි.