2. 4. 5.
189. වැසි දු වසී. යළි දු වැස්ස ‘ගළගළ’ හඬින් ගලායෙයි. මම ද, එකලා වැ භයජනක ගුහායෙහි වෙසෙමි. මා එකලා වැ භයජනක ගුහායෙහි වසන්නහුට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ නැති.
190. එකලා වැ භයජනක ගුහායෙහි වසන්නා වූ යම් බඳු මට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ නැත් ද තෙල මා ගේ ධර්‍මස්වභාව යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සම්බුලකච්චායන ස්ථවිරයන් වහන්සේ ...
සම්බුලකච්චායන ස්ථවිරගාථා යි.
2. 4. 6.
191. කවරක්හු ගේ සිත පර්‍වතයක් මෙන් සිටියේ (ලෝදහමින්) නො සැලේ ද, ඇලුම් කටයුතු වස්තූන්හි නො ඇලේ ද, කිපියයුතු (ආඝාත) වස්තුයෙහි නො කිපේ ද, යම් (ආර්‍ය්‍ය) පුද්ගලයකුගේ සිත මෙසෙයින් වඩනාලද වී නම්, ඔහුකරා කොයින් දුක පැමිණෙන්නේ ද?
192. මා ගේ සිත පර්‍වතයක් සෙයින් සිටියේ (ලෝදහමින්) නො සැලෙයි, ඇලුම් කටයුතු වස්තූන්හි නො ඇලෙයි, කිපියයුත්තෙහි නො කිපෙයි, මාගේ සිත මෙසෙයින් වඩනා ලද යැ, කොයින් මා කරා දුක එන්නේ දැ? යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ඛිතක ස්ථවිරයන් වහන්සේ ...
ඛිතක ස්ථවිරගාථා යි.
2. 4. 7.
193. තරුවැළ ඇති රාත්‍රිය තව (සුදුසු කල් ලද යෝගීහු රහත් වන තෙක්) නින්දට කල් නො වෙයි. මේ රාත්‍රිය නුවණැත්තහු විසින් පිළිවෙත් රක්නට මැ (කැමැති වන ලද්දී) වේ.
194. ඉදින් (එදා) සඞ්ග්‍රාමයෙහි ඇත්කඳින් යටිකුරු වැ හුණු මා ඇත් තෙමේ ඇක්මි නම් (ඒ) මා ගේ මරණය උතුමි. යම්හෙයකින් (දැන් කෙලෙස් මරුන් විසින්) පරැදුණෙම් ජීවත් වන්නෙම් ද, එහෙයිනි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සෙලිස්සරිය ස්ථවිරයන් වහන්සේ ...
සෙලිස්සරිය ස්ථවිරගාථා යි.
2. 4. 8.
195. ප්‍රිය ස්වභාව ඇති මනරම් වූ පස්කම්ගුණ හැරපියා සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යැ.
196. මරණය නො පතමි, ජීවිතය නො කැමැත්තෙමි. මහනුවණැති වැ සිහි ඇති වැ හුදෙක් (පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කෙරෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නිසභ ස්ථවිරයන් වහන්සේ ...
නිසභ ස්ථවිරගාථා යි.
2. 4. 9.
197. (මම සිහිනෙන්) අඹදලු බඳු පැහැ ඇති සිවුරක් දසරුයෙහි ලාගෙන ඇත්කඳෙහි හුන්නෙම් ගමට පිඬු පිණිස පිවිසියෙමි.
198. (මහාජන දර්‍ශනයෙන් ලජ්ජිත වැ) ඇත්කඳින් බැසැ (පිබිදියෙම්) එකල්හි සංවේගපත් වීමි. මම එකල්හි ජාතිම්දාදියෙන් දැපුණෙමි. දැන් මා විසින් අර්‍හත්ඵලය ලබනලදී.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උසභ ස්ථවිරයන් වහන්සේ ...
උසභ ස්ථවිරගාථා යි.
2. 4. 10.
199. ‘කප්පටකුර’ නම් මහණ තෙමේ ‘මේ මාගේ ජීර්‍ණවස්ත්‍රය’ යි (උපන් මිථ්‍යාවිතර්‍ක ඇත්තේ) පවිත්‍ර වූ පරිපූර්‍ණ වූ අමෘතඝටය ඇති කල්හි කෘතමාත්‍ර පැවිදි ඇත්තේ යැ, (මාගේ ශාසනය) ධ්‍යානයන් රැස් කරන්නට කරනලද (භාවනා) මාර්‍ග ඇත්තේ යි.
200. එම්බා කප්පටය, තෝ නො නිදව, (දේශනාහස්තයෙන්) තට කන්මුලැ පහර නො දෙන්නෙමි. කප්පටය, සඟමැද නිඳන තෝ පමණ නො දත්තෙහි යයි.
මෙසේ මේ ගාථා කප්පටකුර ස්ථවිරයන් වහන්සේ ...
කප්පටකුර ස්ථවිරගාථා යි.
සතරවැනි වර්‍ගය යි.
උද්දානය:
මිගසිර යැ, සීවක යැ, පණ්ඩිත වූ උපවාන යැ, ඉසිදින්න යැ, සම්බුලකච්චාන යැ, ඛිතක යැ, සෙලිස්සර යැ, නිසභ යැ, උසභ යැ, කප්පටකුර යැ යන දසතෙරුන්ගේ ගාථා යි.