2. 4. 2.
183. ඒ ඒ භවයෙහි පුනපුනා උපදනා (ආත්මභාව) ගෘහයෝ අනිත්‍යයෝ යැ, ගෘහකාරකයා (තෘෂ්ණාව) සොයන්නෙම් (මෙතෙක් හැසුරුණෙමි) පුනපුනා ඉපැත්ම දුකෙකි.
184. එම්බා ගෘහකාරකය, (මා විසින් තෝ) දක්නාලද්දෙහි. යළි ගෙය නො කරන්නෙහි. තා ගේ සියලු ගොනැස්හු බිඳුනාලදහ. කැණිමඬල ද පළනලද යැ, (මා ගේ) සිත විගතාන්ත කරණලද්දේ මේ අත්බැව්හි මැ නිරුද්ධ වන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සීවක ස්ථවිරයන් වහන්සේ ...
සීවක ස්ථවිරගාථා යි.
2. 4. 3.
185. ලෝකයෙහි අර්‍හත් වූ සුගත් මුනිහු වාතහේතුයෙන් හටගත් ආබාධ ඇතියාහු යැ, බ්‍රාහ්මණයෙනි, ඉදින් උණුදිය ඇත් නම් මුනිරදුට දෙනු මැනැවි.
186. (ඒ බුදුරජහු) පුජ්‍යයන් විසින් පුදනලදහ, සත්කාර කටයුත්තන් විසින් සත්කෘතයහ, වැන්ද යුත්තන් විසින් වදනා ලදහ.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උපවාන ස්ථවිරයන් වහන්සේ ...
උපවාන ස්ථවිරගාථා යි.
2. 4. 4.
187. ‘කාමයෝ අනිතයහ’යි කියන්නා වූ ධර්‍මධර උපාසකයෝ මා විසින් දක්නාලදහ. ඔහු මිණිකොඬොල් කෙරෙහි බහලරාගයෙන් ඇලුණාහු දරුවන් කෙරෙහි දු අඹුවන් කෙරෙහි දු අපේක්‍ෂා ඇත්තාහු ය.
188. ඔහු එකත්නෙන් දහම් ඇති සැටියෙන් නො දනිති. එතෙකුදුවූවත් කාමයෝ අනිත්‍යහ’යි කීහු. ඔවුනට රාගය සිඳිනට (ඥාන) බලයෙක් නැත. එහෙයින් අඹුදරුවන් ද ධනය ද ඇසුරු කළාහු යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ඉසිදින්න ස්ථවිරයන් වහන්සේ ...
ඉසිදින්න ස්ථවිරගාථා යි.
2. 4. 5.
189. වැසි දු වසී. යළි දු වැස්ස ‘ගළගළ’ හඬින් ගලායෙයි. මම ද, එකලා වැ භයජනක ගුහායෙහි වෙසෙමි. මා එකලා වැ භයජනක ගුහායෙහි වසන්නහුට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ නැති.
190. එකලා වැ භයජනක ගුහායෙහි වසන්නා වූ යම් බඳු මට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ නැත් ද තෙල මා ගේ ධර්‍මස්වභාව යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සම්බුලකච්චායන ස්ථවිරයන් වහන්සේ ...
සම්බුලකච්චායන ස්ථවිරගාථා යි.
2. 4. 6.
191. කවරක්හු ගේ සිත පර්‍වතයක් මෙන් සිටියේ (ලෝදහමින්) නො සැලේ ද, ඇලුම් කටයුතු වස්තූන්හි නො ඇලේ ද, කිපියයුතු (ආඝාත) වස්තුයෙහි නො කිපේ ද, යම් (ආර්‍ය්‍ය) පුද්ගලයකුගේ සිත මෙසෙයින් වඩනාලද වී නම්, ඔහුකරා කොයින් දුක පැමිණෙන්නේ ද?
192. මා ගේ සිත පර්‍වතයක් සෙයින් සිටියේ (ලෝදහමින්) නො සැලෙයි, ඇලුම් කටයුතු වස්තූන්හි නො ඇලෙයි, කිපියයුත්තෙහි නො කිපෙයි, මාගේ සිත මෙසෙයින් වඩනා ලද යැ, කොයින් මා කරා දුක එන්නේ දැ? යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ඛිතක ස්ථවිරයන් වහන්සේ ...
ඛිතක ස්ථවිරගාථා යි.
2. 4. 7.
193. තරුවැළ ඇති රාත්‍රිය තව (සුදුසු කල් ලද යෝගීහු රහත් වන තෙක්) නින්දට කල් නො වෙයි. මේ රාත්‍රිය නුවණැත්තහු විසින් පිළිවෙත් රක්නට මැ (කැමැති වන ලද්දී) වේ.
194. ඉදින් (එදා) සඞ්ග්‍රාමයෙහි ඇත්කඳින් යටිකුරු වැ හුණු මා ඇත් තෙමේ ඇක්මි නම් (ඒ) මා ගේ මරණය උතුමි. යම්හෙයකින් (දැන් කෙලෙස් මරුන් විසින්) පරැදුණෙම් ජීවත් වන්නෙම් ද, එහෙයිනි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සෙලිස්සරිය ස්ථවිරයන් වහන්සේ ...
සෙලිස්සරිය ස්ථවිරගාථා යි.
2. 4. 8.
195. ප්‍රිය ස්වභාව ඇති මනරම් වූ පස්කම්ගුණ හැරපියා සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යැ.
196. මරණය නො පතමි, ජීවිතය නො කැමැත්තෙමි. මහනුවණැති වැ සිහි ඇති වැ හුදෙක් (පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කෙරෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නිසභ ස්ථවිරයන් වහන්සේ ...
නිසභ ස්ථවිරගාථා යි.