2. 3. 7.
173. යම්සේ භද්‍ර වූ අජානීයවෘෂභ තෙම පැකිළැ යළි නැඟීසිටී ද, බෙහෙවින් සංවේගය ලැබැ අදීන වැ ධුරය උසුලා ද,
174. එසෙයින් දර්‍ශනසම්පන්න වූ සම්‍යක්සම්බුද්ධශ්‍රාවක වූ බුදුරදුන්ගේ ඖරසපුත්‍ර වූ මා පුරුෂාජානීයයකු කොට සලකනසේක්වා යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ ...
නන්‍දක ස්ථවිරගාථා යි.
2. 3. 8.
175. එව නන්‍දකයෙනි, උපාධ්‍යායයන් වහන්සේ (සම්බුදුරදුන්) වෙත යම්හ, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ හමුයෙහි සිංහනාද පවත්වම්හ.
176. යම් අර්‍ත්‍ථයක් සඳහා අපට අනුකම්පායෙන් භාග්‍යවතුන් වහන්සේ අප පැවිදි කළසේක් නම් සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම වූ ඒ අර්‍ත්‍ථය (අර්‍හත්ඵලය) අප විසින් ලබනලදැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භරත ස්ථවිරයන් වහන්සේ ...
භරත ස්ථවිරගාථා යි.
2. 3. 9.
177. මෙසේ සෙන් සහිත මරු දිනා දිනනලද සඞ්ග්‍රාම ඇති, අග්‍රමාර්‍ග ප්‍රඥා සහිත වූ වීරයෝ (ශ්‍රාවකයෝ) ගිරිගුහායෙහි සිංහයන් සෙයින් නද දෙත් (අභීතනාද කෙරෙත්.)
178. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. ධර්‍මය ද සඞ්ඝයා ද පුදනලද යැ, ක්‍ෂිණාස්‍ර වූ පුතණුවන් දැක (නිරාමිස ප්‍රීතියෙන්) තුටු වූයෙම් සොම්නස් වීමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ...
භාරද්වාජ ස්ථවිරගාථා යි.
2. 3. 10.
179. (මා විසින් ශාරීපුත්‍රාදි) සත්පුරුෂයෝ සෙවුනාලදහ. එක්වන් (නිතර) දහම් අසනලද යැ, අසා නිර්‍වාණය පිහිට කොට ඇති මඟට පිළිපන්මි.
180. නැසූ භාවරාගය ඇති මට ඒ භාවරාගය යළි නො පැනේ. (අග්‍රමාර්‍ගාධිගමයෙහි පටන්) නො වී යැ, (මත්තෙහි) මට නො ද වන්නේ යැ, දැනුදු මට නැති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් කණ්හදින්න ස්ථවිරයන් වහන්සේ ...
කණ්හදින්න ස්ථවිරගාථා යි.
තෙවන වර්‍ගය යි.
උද්දානය:
උත්තර යැ, භද්දජි යැ, සෝභිත යැ, වල්ලිය යැ, විතසෝක යැ, පුණ්ණමාස යැ, නන්‍දක යැ, භාරද්වාජ යැ, කණ්හදින්න යැ, යන තෙරවරුන් වදාළ ගාථා යි.