2. 3. 1.
161. පඤ්චස්කන්ධයෝ මා විසින් පිරිසිඳ දන්නා ලදහ. තෘෂ්ණාව මා විසින් මොනොවට උපුරනලද යැ. බෝධ්යඞ්ගයෝ මා විසින් වඩන ලදහ. නිර්වාණය මා විසින් ලබනලදී.
162. ඒ මම ස්කන්ධයන් පිරිසිඳ දැන තෘෂ්ණාව උපුටා දමා බෝධ්යඞ්ගයන් වඩා ආස්රව රහිත වැ පිරිනිවෙන්නෙමී.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ...
උත්තර ස්ථවිරගාථා යි.
2. 3. 2.
163. (යටගිය දවසැ) ‘පානාද’ වූ නම් ප්රසිද්ධ රජෙක් වී යැ. යම් රජක්හුගේ ප්රසාදය රන්මුවා වූයේ සරස සරපතන සොළසක් ඇත්තේ උස සරපතන දහසක් ඇත්තේ වී ද,
164. සහස්බුමු වූයේ (නඟාලූ) ධ්වජබහුල වූ චාමීකරස්වර්ණමය සිය ගණන් නිර්ව්යුහ ඇත්තේ ද, එහි සත් තැනෙකැ සදහසක් නළුවෝ නැටූහු ද, ඒ රජ තෙමේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් වහන්සේ ...
භද්දජි ස්ථවිරගාථා යි.
2. 3. 3.
165. සිහි ඇති (අභිඥා) නුවණ ඇති පටන්ගන්නාලද බල හා වීර්ය්ය ඇති මහණකු වූ මම පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.
166. සතර සීවටන් ද සප්තබෝධ්යඞ්ගයන් ද අෂ්ටමාර්ගාඞ්ගයන් ද වඩනුයෙම් පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සෝභිත ස්ථවිරයන් වහන්සේ ...
සෝභිත ස්ථවිරගාථා යි.
2. 3. 4.
167. දෘඪවීර්ය්ය ඇතියහු විසින් යමක් කටයුතු නම් සියුසස් දැනගනු රිසියහු විසින් යමක් කටයුතු නම්, (එය) කරන්නෙම්, නො වළහන්නෙමි, වීර්ය්ය සඞ්ඛ්යාත සම්යග්ව්යායාමය බලව.
168. නුඹවහන්සේ වැළිත් මට නිර්වාණය පිහිට කොට ඇති ඍජු වූ (ආර්ය්ය) මාර්ගය වදහළ මැනැවැ, මම (නො වළහා) සයුර කරා යන ගඞ්ගාශ්රෝතසක් සෙයින් ආර්ය්යමාර්ගයෙන් (නිර්වාණය) ප්රතිවේධ කරන්නෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
වල්ලිය ස්ථවිරගාථා යි.
2. 3. 5.
169. නැහැවි ‘මා ගේ කෙස් කපමි’යි මා කරා එළැඹියේ යැ. ඉක්බිති මම කැටපත ගෙන (මාගේ) සිරුර බැලීමි.
170. මට සිරුර තුව්ජ වැ පැණින අවිද්යා නැමැති අන්ධකාරය පහ විය, සියලු කෙලෙස් නැමැති කඩමාලු නොහොත් සොරු නසනලදහ. දැන් පුනර්භවයෙක් නැතැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් වීතසෝක ස්ථවිරයන් වහන්සේ ...
වීතසෝක ස්ථවිරගාථා යි.
2. 3. 6.
171. පඤ්චනීවරණයන් හැරපියා නිවනට පැමිණෙනු පිණිස තමා ගේ ඥානදර්ශනය වූ විදර්ශනාඥාන සඞ්ඛ්යාත ධර්මාදර්ශය (දහම් කැටපත) ගෙන,
172. ඇතුළත පිටත (ආද්ධ්යාත්මික බාහිරායතන) සහිත වූ මේ සියලු ශරීරය නුවණැසින් බැලීමි. ස්වසන්තානයෙහි ද පරසන්තානයෙහි ද තුච්ඡ වූ කය (පඤ්චස්කන්ධ සඞ්ඛ්යාත ආත්මභාවය) දක්නාලද්දේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පුණ්ණමාස ස්ථවිරයන් වහන්සේ ...
පුණ්ණමාස ස්ථවිරගාථා යි.
2. 3. 7.
173. යම්සේ භද්ර වූ අජානීයවෘෂභ තෙම පැකිළැ යළි නැඟීසිටී ද, බෙහෙවින් සංවේගය ලැබැ අදීන වැ ධුරය උසුලා ද,
174. එසෙයින් දර්ශනසම්පන්න වූ සම්යක්සම්බුද්ධශ්රාවක වූ බුදුරදුන්ගේ ඖරසපුත්ර වූ මා පුරුෂාජානීයයකු කොට සලකනසේක්වා යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ ...
නන්දක ස්ථවිරගාථා යි.
2. 3. 8.
175. එව නන්දකයෙනි, උපාධ්යායයන් වහන්සේ (සම්බුදුරදුන්) වෙත යම්හ, බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ හමුයෙහි සිංහනාද පවත්වම්හ.
176. යම් අර්ත්ථයක් සඳහා අපට අනුකම්පායෙන් භාග්යවතුන් වහන්සේ අප පැවිදි කළසේක් නම් සියලු සංයෝජනයන් ක්ෂය කිරීම වූ ඒ අර්ත්ථය (අර්හත්ඵලය) අප විසින් ලබනලදැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භරත ස්ථවිරයන් වහන්සේ ...
භරත ස්ථවිරගාථා යි.