2. 1. 6.
131. මම යම් දවසෙක සිවුසස්දහම් ඇසීම් ද ඒ බණන බුදුන් පිළිබඳ වැ සැක කළ බවක් නො දනිමි. සර්‍වඥ වූ අපරාජිත වූ -
132. සාර්‍ත්‍ථවාහ වූ මහාවීර වූ සාරථීන් කෙරෙහි අත්‍යුත්තම සාරථි වූ බුදුන් කෙරෙහි ද, මාර්‍ගයෙහි හෝ ප්‍රතිපත්තියෙහි ද මා ගේ සැකයෙක් නැතැ’යි.
මෙසේ ආයුෂ්මත් මෙලජින ස්ථවිරයන් වහන්සේ ...
මෙලජින ස්ථවිරගාථා යි.
2. 1. 7.
133. මොනොවට සෙවෙණි නො කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම අභාවිත වූ සිත විනිවිද යන්නේ යැ.
134. මොනොවට සෙවෙණි කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද නො යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම සුභාවිත වූ සිත විනිවිද නො යන්නේ ය යි.
මෙසේ ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේ ...
රාධ ස්ථවිරගාථා යි.
2. 1. 8.
135. මාගේ ජාති සඞ්ඛ්‍යාත පුනර්‍භවය ක්‍ෂය වූයේ මැ වෙයි මඟබඹසරවස් වැස නිමවනලද, ජාල සඞ්ඛ්‍යාත වූ දෘෂ්ටි අවිද්‍යා දෙක ප්‍රහීණ යැ, භවතෘෂ්ණා නසනලදු.
136. ගිහිගෙන් නික්ම ශාසනයෙහි යමක් සඳහා පැවිදි වීම් ද, මා විසින් සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත ඒ අර්‍ත්‍ථය (නිවන) ලබනලදැ’යි.
මෙසේ ආයුෂ්මත් සුරාධ ස්ථවිරයන් වහන්සේ ...
සුරාධ ස්ථවිරගාථා යි.
2. 1. 9.
137. හැම කල්හි ඒකාන්තයෙන් රැකියැයුතු යම් ස්ත්‍රී කෙනකුන් කෙරෙහි සත්‍යය අත්‍යර්‍ත්‍ථයෙන් නො ලැබියැ හැක්කේ ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි යම් මුනි කෙනෙක් නො බැඳෙත් ද, ඒ මුනිහු සුවසේ වෙසෙත්.
138. කාමය, තා ගේ නැස්ම කළම්හ. ඒ අපි දැන් ණය නැතියම්හ. යම් තැනෙක ගොස් නො සොස්නේ ද, දැන් ඒ නිවන කරා යම්හ’යි.
මෙසේ ආයුෂ්මත් ගෞතම ස්ථවිරයන් වහන්සේ ...
ගෞතම ස්ථවිරගාථා යි.
2. 1. 10.
139. කුහක තෙමේ පළමු මැ තමා නසන්නේ යැ, හෙතෙම පසුවැලා මෙරමා ද නසන්නේ යැ, ලිහිණිවැදි වීතංසයෙන් (ලිහිණියන් මුළාකරන වැස්මෙන්) ලිහිණින් නසන්නාක් මෙන් තමා සුහත කොට නසන්නේ යැ.
140. බැහැර ඊර්‍ය්‍යාපථසම්පත්ති ඇත්තේ බ්‍රාහ්මණ නො වෙයි. ඇතුළත ශීලාදි සම්පත් ඇත්තේ මැ බ්‍රාහ්මණ වෙයි. ශක්‍රය, යමකු කෙරෙහි පාපකර්‍මයෝ ඇත් ද, හේ ඒකාන්තයෙන් නිහීන පුද්ගලයෙක් වන්නේ ය යි.
මෙසේ ආයුෂ්මත් වසභ ස්ථවිරයන් වහන්සේ ...
වසභ ස්ථවිරගාථා යි.
ප්‍රථම වර්‍ගය යි
උද්දානය:
උත්තර යැ, පිණ්ඩෝල යැ, වල්ලිය යැ, තිරිය යැ, අජින යැ, මෙළජින යැ, රාධ යැ, සුරාධ යැ, ගොතම යැ, වසභ යැ යන රහතුන් වහන්සේලා වදාළ ගාථා යි.