2. 1. 3.
125. සිත් නමැති වඳුරා එළැඹැසිට පස්දොරක් ඇති කුටියෙහි ඒ ඒ දොරින් වරින් වර (අරමුණු ගැනීම් විසින්) ඝටමින් ඔබිනොබ හැසිරෙයි.
126. වඳුර, සිටුව නහමක් දුවව, තා ගේ ඒ කිළිය පෙර ලෙසින් නැත. (පියූ දොර අගුළු ඇති හෙයිනි.) මාර්‍ගප්‍රඥායෙන් නිගන්නාලදුයෙහි, එහෙයින් නහමක් දුර (ප්‍රතිසන්‍ධි වශයෙන්) යන්නෙහි යයි.
මෙසේ ආයුෂ්මත් වලලිය ස්ථවිරයන් වහන්සේ ...
වලලිය ස්ථවිරගාථා යි.
2. 1. 4.
127. ගඞ්ගානදිතීරයෙහි තල්පත් තුනෙකින් මට කිළියක් කරනලද, මා ගේ පාත්‍රය මළසිරුරට කිරි ඉස්නා බඳුනක් වැන්න. සිරුර ද පාංශුකූලයෙකි.
128. අතුරුවස් දෙකක් තුළ මා විසින් එක් මැ බසක් කියනලදි, තෙවන අතුරුවසෙහි ලා මොහඳුරුකඳ පළනලදැ’යි.
මෙසේ ආයුෂ්මත් ගඞ්ගාතීරිය ස්ථවිරයන් වහන්සේ ...
ගඞ්ගාතීරිය ස්ථවිරගාථා යි.
2. 1. 5.
129. ඉදින් පුනර්‍භවයක් නැතියෙන් මරණය නවතාලූ කාමාදි ආස්‍රව නැති ත්‍රිවිද්‍යාධරයෙක් වන්නේ නමුදු අඥානයෝ ඔහු ‘අප්‍රකටයහ’යි නො දැනීමෙන් අවඥා කෙරෙත්.
130. මෙලොව යම් පුඟුලෙක් වනාහි ආහාරපාන ලබන්නේ වේ ද, හේ පාපධම් ඇත්තේ නමුදු තෙල බාලයන් විසින් සලකන ලද්දේ වන්නේ යයි.
මෙසේ ආයුෂ්මත් අජින ස්ථවිරයන් වහන්සේ ...
අජින ස්ථවිරගාථා යි.
2. 1. 6.
131. මම යම් දවසෙක සිවුසස්දහම් ඇසීම් ද ඒ බණන බුදුන් පිළිබඳ වැ සැක කළ බවක් නො දනිමි. සර්‍වඥ වූ අපරාජිත වූ -
132. සාර්‍ත්‍ථවාහ වූ මහාවීර වූ සාරථීන් කෙරෙහි අත්‍යුත්තම සාරථි වූ බුදුන් කෙරෙහි ද, මාර්‍ගයෙහි හෝ ප්‍රතිපත්තියෙහි ද මා ගේ සැකයෙක් නැතැ’යි.
මෙසේ ආයුෂ්මත් මෙලජින ස්ථවිරයන් වහන්සේ ...
මෙලජින ස්ථවිරගාථා යි.
2. 1. 7.
133. මොනොවට සෙවෙණි නො කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම අභාවිත වූ සිත විනිවිද යන්නේ යැ.
134. මොනොවට සෙවෙණි කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද නො යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම සුභාවිත වූ සිත විනිවිද නො යන්නේ ය යි.
මෙසේ ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේ ...
රාධ ස්ථවිරගාථා යි.