20. 1. 7.
842. මා විසින් ඇත්කඳ නැඟී සැරිසරනලද යැ, සියුම් වස්ත්ර දරන ලද යැ, මනා මසින් හැනූ හැල්බත් වළඳනලදි.
843. අද (ශීලාදී ගුණ හෙයින්) භද්ර වූ ශ්රමණධර්මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කාළිගෝධාපුත්ර ඒ භද්දිය තෙමේ ධ්යාන කෙරේ.
844. පංශුකූලිකාඞ්ග ඇති, ශ්රමණධර්මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කළිගෝධාපුත්ර භද්දිය තෙමේ ධ්යාන කෙරේ.
845. පිණ්ඩපාතිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
846. තෙචීවරිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
847. සපදානචාරිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
848. ඒකාසනිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
849. පත්තපිණ්ඩිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
850. ඛලුපච්ඡාභත්තිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
851. ආරඤ්ඤිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
852. රුක්ඛමූලිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
853. අබ්හොකාසිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
854. සෝසානිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
855. යථාසන්තතිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
856. නෙසජ්ජිකඞ්ග ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ ...
857. අල්පෙච්ඡ වූ ශ්රමණධර්මයෙහි නිරත වූ ...
858. සන්තුෂ්ට වූ ශ්රමණධර්මයෙහි නිරත වූ ...
859. ප්රවිවික්ත වූ ශ්රමණධර්මයෙහි නිරත වූ ...
860. අසංසෘෂ්ට වූ ශ්රමණධර්මයෙහි නිරත වූ ...
861. ආරබ්ධවීර්ය්ය ඇති ශ්රමණධර්මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු, උපාදාන රහිත වූ ගෝධාපුත්ර භද්දිය තෙමේ ධ්යාන කෙරේ.
862. රනින් නිමැ වූ නොයෙක් කැටයම් ඇති සියක්පල් අගනා කස්ලෝතලිය හැරැදමා මැටිපාත්රය ගනිමි, මේ දෙවැනි අභිෂේක යි.
863. උස් වූ මඬුලුපවුරු ඇති තිර වූ අටලු කොටු ඇති පුරයෙහි ඛඞ්ගධාරීන් විසින් රක්නාලද්දෙම් ත්රස්ත වැ විසුයෙමි.
864. අද ඒ භද්ර වූ ත්රස්ත නො වනසුලු වූ පහ වූ භය භෛරව ඇති ගෝධාපුත්ර භද්දිය තෙමේ වනයෙහි පිවිස ධ්යාන කෙරේ.
865. ශීලස්කන්ධයෙහි පිහිටා සමාධියත් ප්රඥාවත් වඩනෙම් අනුක්රමයෙන් සියලු සංයෝජනයන් ගේ ක්ෂය භාවයට පැමිණියෙමි යි.
මෙසේ ආයුෂ්මත් කාළිගෝධාපුත්ර භද්දිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
භද්දිය ස්ථවිරගාථා යි.
20. 1. 8.
866. මහණ! යන්නෙහි ‘සිටියෙමි’යි කියහි, සිටි මා ‘නො සිටියහ’යි ද කියහි, මහණ! මෙකරුණ ඔබ විචාරමි, භවත් කෙසේ සිටියෙ යැ? මම කෙසේ නො සිටියෙම් වේ ද?
867. අඟුල්මල! මම හැම කල්හි සියලු සතුන් කෙරෙහි දණ්ඩනය හැරපියා සිටියෙමි, තෝ වනාහි ප්රාණීන් කෙරෙහි සංයම රහිත වෙහි, එහෙයින් මම සිටියෙමි, තෝ නො සිටියෙහි.
868. පූජිත වූ මහර්ෂි වූ ශ්රමණ තෙම කලෙකින් මට හිත පිණිස මහවනයට එළඹියේ යැ, මම ඔබගේ ධර්මයුක්ත වූ ගාථාව අසා දහසක් පව් හැරැදමන්නෙමි.
869. මෙසේ කියා අඟුල්මල් සොර අසිපත ද සෙසු අවි ද හෙබෙහි ප්රපාතයෙහි, පොළෝ විවරයෙහි දැමී යැ, සොරා බුදුන් ගේ පාසඟළු වැන්දේ යැ, එතැන්හි මැ බුදුන් ගෙන් පැවිද්ද අයැදී.
870. එක්බිති යම් කෙනෙක් දෙවියන් සහිත සත්ත්වලෝකයාට කාරුණික වෙත් ද, මහර්ෂී වෙත් ද ඒ බුදුහු ‘එව මහණැ’යි එදා ඔහුට වදාළහ. එ මැ ඔහු ගේ භික්ෂුභාවය වී.
871. යමෙකු පළමු ප්රමාදයට පැමිණ පසුව අප්රමාද වේ ද හෙතෙම වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.