20. 1. 5.
794. රූපය දැකැ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ (එය) විඳී, යළි එහි වැදැගෙන සිටී.
795. ඔහු ගේ නොයෙක් වේදනාවෝ රූපයෙන් හටගත්තාහු වැඩෙත්. අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනු ලැබේ.
796. ශබ්දය අසා ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
797. ඔහුගේ නොයෙක් වේදනාවෝ ශබ්දාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනුලැබේ.
798. ගන්‍ධාඝ්‍රාණය කොට ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
799. ඔහුගේ නොයෙක් වේදනාවෝ ගන්‍ධාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.
800. රසය අනුභව කොට ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
801. ඔහු ගේ නොයෙක් වේදනාවෝ රසාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ. මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.
802. ස්පර්‍ශය විඳ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
803. ඔහුගේ නොයෙක් වේදනාවෝ ස්පර්‍ශාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.
804. ධර්‍මාරම්මණය දැනැ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
805. ඔහුගේ නොයෙක් වේදනාවෝ ධර්‍මාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනුලැබේ.
806. යමෙක් රූ අරමුණ දැකැ එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම රූපයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
807. යම්සේ රූපය දක්නා වූ ද (එය අරමුණු කොට උපන්) වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ ද රැස් නො වේ ද හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
808. යමෙක් ශබ්දය අසා එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ශබ්දයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
809. යම්සේ ශබ්දය ශ්‍රවණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
810. යමෙක් ගන්‍ධාඝ්‍රාණය කොට එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ගන්‍ධාරම්මණයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණුරස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
811. යම්සේ ගන්‍ධාඝ්‍රාණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ. මෙසේ දුක් පහ කරන්නහු ගේ නිවන ළඟ යැ යි කියනුලැබේ.
812. යමෙක් රසානුභවය කොට එහි සිත් ඇත්තේ වේ ද, හෙතෙම රසයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
813. යම්සේ රසාස්වාදය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
814. යමෙක් පහස විඳ එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ස්පර්‍ශාලම්බනයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණුරස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
815. යම්සේ පහස විඳුනා වූ ද වේදානාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
816. යමෙක් දහම්අරමුණ පසක් කොට එහි සිත් ඇත්තේ වේ ද, හෙතෙම දහම්අරමුණෙහි නො ඇලෙයි, විරාගසිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
817. යම්සේ දහම්අරමුණ පසක් කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ යි.
මෙසේ ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරගාථා යි.