12. ද්වාදස නිපාතය.
12. 1. 1.
608. මේ සසුන්හි ශීලය මැ පුහුණු කළ මැනවැ, මෙලොව මොනවට පුහුණු කළ, සේවනය කළ ශීලය සියලු සම්පත් එළවා ද එහෙයිනි.
609. ප්‍රශංසාව ද සන්තෝෂ ලාභය ද පරලෙව්හි ස්වර්‍ගයෙහි මෝදනය ද යන ත්‍රිවිධසුඛයන් කැමති වන්නා වූ නුවණැත්තේ සිල් රැක්ක මැනැවි.
610. සිල් ඇත්තේ මැ සංවරය කරණ කොට ගෙන බොහෝ මිතුරන් ලබයි. දුශ්ශීල තෙමේ වැළිත් ලාමක ක්‍රියා කරන්නේ මිතුරන් කෙරෙන් පහ වේ.
611. දුශ්ශීල පුරුෂ තෙම ගර්‍හාවත් අපකීර්තියත් ලබයි. සිල්වත් පුරුෂ තෙම හැම කල්හි ගුණකථනයත් කීර්තියත් ප්‍රශංසාවත් ලබයි.
612. ශීලය (කුශලධර්‍මයන්ට) මූලයත් ප්‍රතිෂ්ඨාත් වෙයි. කල්‍යාණධර්‍මයන්ට ද මවකි. සියලු ධර්‍මයන්ට ප්‍රමුඛ යැ. එහෙයින් සිල් පිරිසිදු කරන්නේ යි.
613. ශීලය චිත්තයා ගේ වෙරළ (සීමාව) ත් සංවරයත් සන්තෝෂකාරණයත් සියලු බුදුවරුන්ගේ තීර්‍ත්‍ථයත් වෙයි. එහෙයින් සිල් පිරිසුදු කරන්නේ යි.
614. ශීලය අසදෘශ බලයෙකි, ශීලය උතුම් ආයුධයෙකි, ශීලය ශ්‍රේෂ්ඨ ආභරණයෙකි, ශීලය අද්භූත කවචයෙකි (සන්නාහයෙකි).
615. ශීලය මහබල ඇති හෙයකි. යමෙකින් දසනුදස හමා නම් එ ශීලය අනුත්තරගන්‍ධයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ විලේපනයෙකි.
616. යමෙකින් දසනුදසහි යේ නම් ඒ ශීලය අග්‍ර වූ බත්පළාවකි (බත්මුළෙකි) ඒ ශීලය උතුම් වූ මාර්ගෝපකරණයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ වූ යානයෙකි.
617. නපුරුසිත් ඇත්තේ මෙලෙව්හි මැ නින්‍දා ලබයි, පරලෙව්හි අපායෙහි ද නින්‍දා ලබයි, ශීලයෙහි නො පිහිටි බාල තෙමේ සියලු තැන්හි දොම්නස් ඇත්තේ වේ.
618. මනා සිත් ඇත්තේ මෙලෙව්හි මැ කීර්තිය ලබයි. පරලෙව්හි ස්වර්‍ගයෙහි ද කීර්තිය ලබයි. ශීලයෙහි මොනවට පිහිටි නුවණැත්තේ හැමතැන්හි සොම්නස් වේ.
619. මෙ සසුන්හි ශීලය මැ අග්‍ර යැ, එතෙකුදු වුවත් නුවණැත්තේ උතුමි. මිනිසුන් අතුරෙහි දු දෙවියන් අතුරෙහි දු ශීල ප්‍රඥා - දෙකින් ජය වේ.
මෙසේ ආයුෂ්මත් සීලව ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සීලව ස්ථවිරගාථා යි.
12. 1. 2.
620. මම පහත් කුලයෙහි උපන්මි, දිළින්දෙමි, අල්පභෝජන ඇත්තෙමි, පහත් රැකියාවක් මට වී යැ, පුස්සඩු වීමි.
621. මිනිසුන් විසින් පිළිකුල් කරනලදු වැ යළි අවමන් කරන ලදු වැ ගරහනලදු වැ යටත්සිත් කොටගෙන බොහෝ දෙනා වැන්දෙමි.
622. භාග්‍යයෙකි! මගධ දනව්වෙහි අගනුවරට පිවිසෙන්නා වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පෙරටුකොට ඇති මහාවීර වූ සම්බුදුන් දිටිමි.
623. (මම) කද බහා තබා වඳින්නට එළැඹියෙමි. පුරුෂෝත්තම තෙමේ මට මැ අනුකම්පා පිණිස නැවැත්තේ යි.
624. එදා ශාස්තෲන් ගේ පාසඟළ වැඳ එකත්පසෙකැ සිටියෙම් සියලු සතුනට උතුම් වූ පැවිද්ද මම අයැදියෙමි.
625. ඉක්බිති කාරුණික වූ, සියලු ලෝකයාට අනුකම්පා ඇති ශාස්තෲන් වහන්සේ ‘එව මහණැ’යි මට වදාළහ, ඒ මාගේ උපසම්පදාව වී යැ.
626. ඒ මම එකලා වැ අරණ්‍යයෙහි වසන්නෙම් නො මැලියෙම්, බුදුහු යම්සේ මට අවවාද කළෝ නම් එසේ ශාස්තෲවචනය කෙළෙමි.
627. රෑ පෙරයම්හි පූර්‍වජාතිය සිහි කෙළෙමි, රෑ මැදියම්හි දිවැස ශෝධනය කෙළෙමි. check translation here
628. රෑ පැසුළුයම්හි, ඒ රැය අවසන්හි හිරු උදාවන්නා හා මැ (අවිදු) අඳුරුකඳ පැළුයෙමි.
629. ‘ඉන්‍ද්‍ර’ ද ‘බ්‍රහ්ම’ ද අවුත් ‘පුරුෂශ්‍රේෂ්ඨය ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමය ඔබට නමස්කාර වේවා. යම්හෙයෙකින් ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද (එහෙයින්) දක්‍ෂිණාර්‍හ වෙහි’යි ඇඳිලි බැන්දාහු මට නමස්කාර කළහ.
630. ඉක්බිති ශාස්තෲන් වහන්සේ දිව්‍යසමූහයා විසින් පුරස්කෘත (සම්භාවිත) වූ මා දැක සිනා පාළ කොට මෙකරුණ වදාළහ.
631. තපසිනු දු බඹසරිනු දු ශීලයෙනු දු ප්‍රඥායෙනු දු යන මෙකරුණින් බ්‍රාහ්මණ වෙයි, මේ උතුම් බමුණු යැ යි (කීහු) යි.
මෙසේ ආයුෂ්මත් සුනීත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සුනීත ස්ථවිරගාථා යි.
උද්දානය:
දොළොස් වැනි නිපාතයෙහි සීලව ද, සුනීත දැ යි තෙරවරු දෙදෙනෙකි. ඔහු මහත් ඍද්ධි ඇත්තාහු යැ, ගාථාවෝ සූවිස්සෙකි.
ද්වාදසනිපාතය නිමි.