10. 1. 7.
587. (නුවණැති පුරුෂතෙම) ස්වාර්‍ත්‍ථය විචාරා දන්නේ යැ. (සම්බුදුන් වදාළ) ප්‍රවචනය (නුවණැසින්) බලන්නේ යැ. මෙ සස්නෙහි ශ්‍රමණභාවයට එළැඹියහුට යමක් සාරූප්‍ය වේ ද එ ද බලන්නේ යි.
588. මේ සස්නෙහි කල්‍යාණමිත්‍රයා යැ අධිශීලාදි ශික්‍ෂාසමාදාන යැ (ආචාර්‍ය්‍ය උපාධ්‍යාදි) ගුරුන්ගේ අවවාද අසනු කැමැත්ත යැ යන මේ කරුණු මහණහට සාරුප්‍ය වෙයි.
589. සම්බුදුරජුන් කෙරෙහි ගරු කරන බව යැ, ආර්‍ය්‍යධර්‍මය කෙරෙහි යථාභූත කොට ආදරයෙන් පිදීම යැ, ආර්‍ය්‍යසඞ්ඝයා කෙරෙහි සම්මානන යැ යන මෙ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
590. (කායිකවාචසික අව්‍යතික්‍රම සඞ්ඛ්‍යාත) ආචාරයෙනු දු (පිණ්ඩපාතාදිය පිණිස එළඹෙනුවට යුක්තස්ථාන සඞ්ඛ්‍යාත) ගෝචරයෙනු දු යුක්ත වූයේ යැ (විඥ පුරුෂයන්ගේ) ගර්‍හාවට නො නිසි සුවිශුද්ධ ආජීව යැ (ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා සඞ්ඛ්‍යාත) චිත්තසංස්ථාපන යැ යන මෙ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
591. චාරිත්‍රශීල යැ චාරිත්‍රශීල යැ ප්‍රසාද එළවනුවට නිසි ඉරියව් ඇසිරි කළ සම්‍යග් ප්‍රඥාව යැ (ශමථවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි භාවනා යැ යන මෙ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
592. මුනිහු විසින් සේවන කටයුතු නිහඬ වූ ජනශූන්‍ය වූ වනසෙනසුන් ඇද්ද, මෙ මහණහට සාරූප්‍ය වෙයි.
593. චතුපාරිසුද්ධිසීල යැ බහුශ්‍රැතභාව යැ (රූපාරූප) ධර්‍මයන් ඇති සැටියෙන් විමසීම යැ ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කිරීම යැ යන මේ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
594. (‘හැම සංස්කාරයෝ අනිත්‍යයහ’යි) අනිත්‍ය සංඥා වඩනේ යැ, (‘හැම දහම් අනාත්මයහ’යි) අනාත්මසංඥා වඩනේ යැ, (‘ත්‍රෛභූමක සංස්කාර අශුභයහ’යි) අශුභසංඥා වඩනේ යැ, හැම ලොව්හි අනභිරතිසංඥා ද වඩනේ යැ, මේ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
595. (සප්ත) බෝධ්‍යඞ්ගයන් (සතර) ඍද්ධිපාදයන් (පඤ්ච) ඉන්‍ද්‍රියයන් (පඤ්ච) බලධර්‍මයන් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය (සතර සතිපට්ඨානයන් සතර සම්‍යක්ප්‍රධානයන්) වඩන්නේ යැ. මේ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
596. මුනි තෙම තෘෂ්ණාව හැරපියන්නේ යැ, මුල් සහිත ආශ්‍රවයන් උදුරාපියන්නේ යැ, (සියලු කෙලෙසුන් කෙරෙන්) විප්‍රමුක්ත වැ වාස කරන්නේ යැ. මෙ කරුණු මහණහට සාරුප්‍ය වේ”යයි.
මෙසෙයින් ආයුෂ්මත් අපර ගොතම ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළසේක.
අපරගෝතම ස්ථවිරගාථා යි.
උද්දානය:
කාළුදායී ස්ථවිර යැ, ඒකවිහාරී ස්ථවිර යැ, මහාකප්පින ස්ථවිර යැ, චූළපන්‍ථක ස්ථවිර යැ, කප්ප ස්ථවිර යැ, උපසේන ස්ථවිර යැ, ගොතම ස්ථවිර යැ යි දසක නිපාතයෙහි තෙරහු සත්දෙනෙක. මෙහි ගාථා සැත්තෑවෙකි.
දසකනිපාතය නිමි.