1. 9. 8.
88. මහවතුරෙහි ඉල්පීයනුවකු සෙයින් තමා සසර නැමැති දියපහරින් නිවන් නමැති ගොඩබිමැ නඟාසිටුවන්නට ඒකාන්තයෙන් පොහොසත් වීමි. (කුමක් හෙයින යත්) මම සියුසස් පිළිවිදැ දනිම් ද (එහෙයිනි) යි.
මෙසේ ... අජ්ජුන ස්ථවිරයන් වහන්සේ ...
අජ්ජුන ස්ථවිරගාථා යි.
1. 9. 9.
89. පඞ්ක (මඩ) පලිප (මහමඩ) සඞ්ඛ්‍යාත කාමරාගඡන්‍දරාගයෝ තරණය කරනලදහ, පාතාල සඞ්ඛ්‍යාත මිථ්‍යාදෘෂ්ටීහු දුරු කරන ලදහ, (කාමාදි) ඕඝයෙන් ද (අභිධ්‍යාදි) කායග්‍රන්‍ථයෙන් ද මිදුණෙම් වෙමි, සියලු මානයෝ මුලුසුන් කරනලදහ යි.
මෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...
දේවසභ ස්ථවිරගාථා යි.
1. 9. 10.
90. (මා විසින්) පඤ්චස්කන්‍ධයෝ පිරිසිඳැ දන්නාලද්දාහු මුල්සුන් වැ සිටිති, ජාති සඞ්ඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරනලද, දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
මෙසේ ... සාමිදත්ත ස්ථවිරයන් වහන්සේ ...
සාමිදත්ත ස්ථවිරගාථා යි.
නවම වර්‍ගය යි.
උද්දානය:
සමිතිගුත්ත ස්ථවිර යැ, කස්සප ස්ථවිර යැ, සීහ ස්ථවිර යැ, නීත ස්ථවිර යැ, සුනාග ස්ථවිර යැ, නාගිත ස්ථවිර ය, පවිට්ඨ ස්ථවිර යැ, අජ්ජුන ස්ථවිර යැ, දේවසභ ස්ථවිර යැ, මහබලැති සාමිදත්තස්ථවිර යැ යි නව වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
දස වැනි වග
1. 10. 1.
91. මා විසින් දැන් යම් අමෘතයෙක් වළඳනා ලද ද, එසෙයින් සතරස මනුෂ්‍යභෝජන ද සුධා දිව්‍යභෝජනය ද අභිමත නො වෙයි, අපරිමිත වූ ඥේය දක්නාසුලු ගොයුම්ගොත් බුදුන් විසින් නිර්‍වාණධර්‍මය දෙසන ලදැ යි.
මෙසේ ... පරිපුණ්ණක ස්ථවිරයන් වහන්සේ ...
පරිපුණ්ණක ස්ථවිරගාථා යි.
1. 10. 2.
92. යමක් හට (කාමාදි) ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද, යමෙකුත් ආහාරයෙහි (තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය විසින්) නො බැඳුණේ ද, යමක්හට ශුන්‍යත, අනිමිත්ත [අප්‍රණිහිත] (යන ත්‍රිවිධ) විමෝක්‍ෂය ගෝචර වේ ද ඒ රහත්හුගේ පියසටහන අහසැ සියොතුන් මඟ මෙන් නො දතහෙන්නේ යයි.
මෙසේ ... විජයස්ථවිරයන් වහන්සේ ...
විජය ස්ථවිරගාථා යි.
1. 10. 3.
93. ඒරකයෙනි, කාමයෝ දුඃඛයහ, එරකයෙනි, කාමයෝ සුඛයෝ නොවෙති, එරකයෙනි, යමෙක් කාමයන් කැමති වේ නම් හෙතෙම දුක් කැමති වෙයි, එරකයෙනි, යමෙක් කාමයන් නො කැමති වේ නම් හෙතෙම දුක් නො කැමති වේ යයි.
මෙසේ ... ඒරක ස්ථවිරයන් වහන්සේ ...
එරක ස්ථවිරගාථා යි.
1. 10. 4.
94. ශ්‍රීමත් වූ ශාක්‍යපුත්‍ර වූ ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා, (සියලු ගුණයෙන්) අගතැන් පැමිණි උන් වහන්සේ විසින් මේ උතුම් වූ (නව ලොවුතුරු) දහම අවිපරීත කොට දෙසනලද්දේ වේ යයි.
මෙසේ ... මෙත්තජි ස්ථවිරයන් වහන්සේ ...
මෙත්තජි ස්ථවිරගාථා යි.
1. 10. 5.
95. මම නටනෙත් ඇත්තෙම් අන්‍ධ වෙමි. කතරඅදන් මඟට පැමිණියෙම් වෙමි, හෝනෙම් නමුදු පාපමිත්‍රයකු සමඟ නො යමි.
මෙසේ ... චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ ...
චක්ඛුපාල ස්ථවිරගාථා යි.
1. 10. 6.
96. එක් (සමන්) මලක් පුදා අසූ කෙළක් හවුරුදු සගසුව විඳැ ඒ පුණ්‍යකර්‍මයාගේ ශේෂයෙන් පිරිනිවියෙම් වෙමි.
මෙසේ ... ඛණ්ඩසුමන ස්ථවිරයන් වහන්සේ ...
ඛණ්ඩසුමන ස්ථවිරගාථා යි.