1. 8. 6.
76. (සත්ත්‍වයන් මානාදීන්) නැඟී සිටුනා කල්හි (තෙමේ) බැසැ සිටුනේ යැ, (සත්ත්‍වයන් ගුණයෙන් හෝ සමථවිදර්‍ශනාධර්‍මයෙන්) බැසැ සිටුනා කල්හි තෙමේ නැඟී සිටුනේ යැ, නොහොත් (කෙලෙසුන්) නැඟී සිටුනා කල්හි (අනුරූප ප්‍රත්‍යවේක්‍ෂණයෙකින්) විෂ්කම්භණය කරන්නේ යැ, (සමථවිදර්‍ශනාධර්‍මයන්) බැසැ සිටුනා කල්හි නඟාලන්නේ යැ, (සත්ත්‍වයන්) බඹසරැ නො වස්නා කල්හි (තෙමේ) වස්නේ යැ, (සත්ත්‍වයන්) පස්කම්ගුණයෙහි ඇලෙන කල්හි (තෙමේ) නො ඇලෙන්නේ ය යි.
මෙසේ ... පියඤ්ජහ ස්ථවිරයන් වහන්සේ ...
පියඤ්ජහ ස්ථවිරගාථා යි.
1. 8. 7.
77. පෙර මා ගේ මේ සිත රිසිසෙයින් රිසි තැනෙකැ සුවසේ හැසුරුණේ යැ, අද මම් ඒ සිත අකුසු ගත්තකු මතැතක්හු සෙයින් නුවණින් නිගන්නෙමි යි.
මෙසේ ... හත්‍ථාරෝහකපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
හත්‍ථාරෝහකපුත්ත ස්ථවිරගාථා යි.
1. 8. 8.
78. (සසරවට) නවත්නා නුවණ නො ලබන්නෙම් නොයෙක් දෑ සියදහස් ගණන් කල් ඇවිද්දෙමි, හටගත් දුක් ඇති ඒ මා ගේ දුක්රැස (රහත්මගින්) නටුයේ වේ ය යි.
මෙසේ ... මෙණ්ඩසිර ස්ථවිරයන් වහන්සේ ...
මෙණ්ඩසිර ස්ථවිරගාථා යි.
1. 8. 9.
79. මා ගේ සියලු රාගය ප්‍රහීණ යැ සියලු ද්වේෂය නටුයේ යැ. මා ගේ සියලු මෝහය පහ වැ ගියේ යැ, නිවුණෙම් සිහිල් බවට පැමිණියෙම් වෙමි.
මෙසේ ... රක්ඛිත ස්ථවිරයන් වහන්සේ ...
රක්ඛිත ස්ථවිරගාථා යි.
1. 8. 10.
80. මා විසින් මඳ වූ හෝ බොහෝ වූ හෝ යම් කර්‍මයක් කරනලද නම් තෙල සියල්ල ක්‍ෂය වූයේ යැ, දැන් යළි පුනර්‍භවයෙක් නැතැ යි.
මෙසේ ... උග්ග ස්ථවිරයන් වහන්සේ ...
උග්ග ස්ථවිරගාථා යි.
අෂ්ටම වර්‍ගය යි.
උද්දානය:
වච්ඡපාල ස්ථවිර යැ, ආතුම ස්ථවිර යැ, මාණව ස්ථවිර යැ, සුයාම ස්ථවිර යැ, සුසාරද ස්ථවිර යැ, පියඤ්ජහ ස්ථවිර යැ, ආරෝහපුත්ත ස්ථවිර යැ, මෙණ්ඩසිර ස්ථවිර යැ, රක්ඛිත ස්ථවිර යැ, උග්ග ස්ථවිර යැ යි අට වැනි වගැ තෙරවරු දස දෙනෙකි.