1. 7. 4.
64. හෙළ කෙහෙලි ඇතියහු (බිම්සර රජුහු) නිසා අම්බපාලිය කෙරෙහි උපන්නේ (මාන) ධ්වජය නැසුනේ ප්‍රඥා (කේතුයෙන්) මැ කෙලෙස් මරහු අභිභවනය කෙළේ යි.
මෙසේ ... විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ...
විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා යි.
1. 7. 5.
65. උක්ඛේපකටවච්ඡ මහණහු විසින් හවුරුදු බොහෝ ගණනකින් සිත්හි ලා රැස් කරනලද යම් දහමෙක් වේ ද, හෙ විමුක්තායතන ශීර්‍ෂයෙහි සිටියේ උදාර වූ ප්‍රමෝදය ඇති වැ ඒ දහම ගිහියනට දේශනා කෙරේ යයි.
මෙසේ ... උක්ඛේපකටවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
උක්ඛේපකටවච්ඡ ස්ථවිරගාථා යි.
1. 7. 6.
66. සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය මහාවීර වූ සර්‍වඥයන් වහන්සේ (මට) අවවාද කළහ, මම උන් වහන්සේ ගේ දහම අසා සිහි ඇති වැ උන්වහන්සේ කෙරෙහි විසීමි. (ඒ මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරනලදැ යි.
මෙසේ ... මේඝිය ස්ථවිරයන් වහන්සේ ...
මේඝිය ස්ථවිරගාථා යි.
1. 7. 7.
67. මා විසින් ක්ලේශයෝ දවනලදහ. සියලු (කාමාදි) භවයෝ නසන ලදහ, ජාතිසංසාරය වෙසෙසින් ක්‍ෂය විය. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
මෙසේ ... ඒක ධම්මසවනීය ස්ථවිරයන් වහන්සේ ...
ඒකධම්මසවනීය ස්ථවිරගාථා යි.
1. 7. 8.
68. අධිචිත්ත සඞ්ඛ්‍යාත රහත්ඵල සිතැති (අනවද්‍යධර්‍මයෙහි සාතත්‍යක්‍රියා විසින්) අප්‍රමාදවිහරණ ඇති මෝනපථ (සත්තිස්බෝධිපාක්‍ෂිකධර්‍ම) යෙහි හික්මෙන තාදීගුණ ඇති උපශාන්ත වූ හැම කල්හි ස්මෘතිමත් වූ මුනිවරයාහට ශෝකයෝ නොවෙත් යයි.
මෙසේ ... ඒකූදානිය ස්ථවිරයන් වහන්සේ ...
ඒකූදානිය ස්ථවිරගාථා යි.
1. 7. 9.
69. උතුම් වූ සර්‍වඥතාඥානයෙන් දෙසන ලද උදාර වූ (විමුක්ති) රස ඇති (සිව්සස්) දහම භාග්‍යවතුන් කෙරෙන් අසා නිර්‍වාණාධිගමය පිණිස මඟට පිළිපන්මි. ඒ භාග්‍යවතුන් වහන්සේ යෝගක්‍ෂේම (නිර්‍වාණ) මාර්‍ගයෙහි නිපුණහ යි.
මෙසේ ... ඡන්න ස්ථවිරයන් වහන්සේ ...
ඡන්න ස්ථවිරගාථා යි.
1. 7. 10.
70. මෙහි ශීලය මැ අග්‍ර යැ. එතෙකුදුවත් නුවණැත්තේ මැ උතුම් මිනිසුන් කෙරෙහි දු දෙවියන් කෙරෙහි දු ශීල ප්‍රඥා හෙයින් ජය (කෙලෙසුන් දිනීම) වේ යයි.
මෙසේ ... පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ...
පුණ්ණ ස්ථවිරගාථා යි.
සප්තම වර්‍ගය යි.
උද්දානය:
වප්ප ස්ථවිර යැ, වජ්ජිපුත්‍ර ස්ථවිර යැ, පක්ඛ ස්ථවිර යැ, විමල ස්ථවිර යැ, කොණ්ඩඤ්ඤ ස්ථවිර යැ, උක්ඛේපකටවච්ඡ ස්ථවිර යැ, මේඝිය ස්ථවිර යැ, ඒකධම්මසවණිය ස්ථවිර යැ, ඒකූදානිය ස්ථවිර යැ, ඡන්න ස්ථවිර යැ, පුණ්ණ ස්ථවිර යැ යි සත් වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.