1. 7. 10.
70. මෙහි ශීලය මැ අග්‍ර යැ. එතෙකුදුවත් නුවණැත්තේ මැ උතුම් මිනිසුන් කෙරෙහි දු දෙවියන් කෙරෙහි දු ශීල ප්‍රඥා හෙයින් ජය (කෙලෙසුන් දිනීම) වේ යයි.
මෙසේ ... පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ...
පුණ්ණ ස්ථවිරගාථා යි.
සප්තම වර්‍ගය යි.
උද්දානය:
වප්ප ස්ථවිර යැ, වජ්ජිපුත්‍ර ස්ථවිර යැ, පක්ඛ ස්ථවිර යැ, විමල ස්ථවිර යැ, කොණ්ඩඤ්ඤ ස්ථවිර යැ, උක්ඛේපකටවච්ඡ ස්ථවිර යැ, මේඝිය ස්ථවිර යැ, ඒකධම්මසවණිය ස්ථවිර යැ, ඒකූදානිය ස්ථවිර යැ, ඡන්න ස්ථවිර යැ, පුණ්ණ ස්ථවිර යැ යි සත් වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
අෂ්ටම වර්‍ගය
1. 8. 1.
71. ඉතා සියුම් වූ(සත්‍යප්‍රතීත්‍යසමුත්පාදාදි) නිපුණ වූ අර්‍ත්‍ථයන් දක්නා සුලු ප්‍රඥායෙන් දක්‍ෂ වූ යටත් පැවැතුම් ඇති මොනවට සෙවුනාලද වෘද්ධශීලීන් ඇති ඔහු විසින් නිර්‍වාණය දුර්‍ලභ්‍ය නො වේ මැ යි.
මෙසේ ... වච්ඡපාල ස්ථවිරයන් වහන්සේ ...
වච්ඡපාල ස්ථවිරගාථා යි.
1. 8. 2.
72. යම්සේ හුණකිළිලක් වැඩුණු සාඛා ඇත්තේ හටගත් ප්‍රසාඛා ඇත්තේ (පඳුරින්) බැහැර කළ නො හැකි වේ ද, එසෙයින් මම ගෙන එනලද බිරිඳගෙන් බැහැර නො කළ හැක්කෙම් වෙමි, මම දැන් පැවිදි වූයෙමි, මෑණියෙනි, එය අනුදත මැනවැ යි.
මෙසේ ... ආතුම ස්ථවිරයන් වහන්සේ ...
ආතුම ස්ථවිරගාථා යි.
1. 8. 3.
73. ජරපත් වූවකු ද දැක දුක්පත් වූ ගිලනකු ද ගිලිහුණු ආයු ඇති මළ එකකු ද දැක එහෙයින් මම සිත්කලු වූ පස්කම්සුව හැරපියා ගිහිගෙන් නික්ම පැවිදි වීමි.
මෙසේ ... මාණව ස්ථවිරයන් වහන්සේ ...
මාණව ස්ථවිරගාථා යි.
1. 8. 4.
74. බාහිතපාපී මහණහුට කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද ථීනමිද්ධය ද උද්ධච්චකුක්කුච්චය ද විචිකිච්ඡාව ද සර්‍වප්‍රකාරයෙන් මැ නැත්තේ ය යි.
මෙසේ ... සුයාම ස්ථවිරයන් වහන්සේ ...
සුයාම ස්ථවිරගාථා යි.
1. 8. 5.
75. (ශීලාදී ගුණයෙන්) මොනවට පිහිටුවනලද සිත් ඇතියන් ගේ දර්‍ශනය මැනවි. යම් හෙයකින් සැක සිඳේ ද නුවණ වැඩේ ද බාලයකු පවා පණ්ඩිතයකු කෙරේ ද එහෙයින් සත්පුරුෂයන් ගේ සමාගමය උතුම් වේ යයි.
මෙසේ ... සුසාරද ස්ථවිරයන් වහන්සේ ...
සුසාරද ස්ථවිරගාථා යි.
1. 8. 6.
76. (සත්ත්‍වයන් මානාදීන්) නැඟී සිටුනා කල්හි (තෙමේ) බැසැ සිටුනේ යැ, (සත්ත්‍වයන් ගුණයෙන් හෝ සමථවිදර්‍ශනාධර්‍මයෙන්) බැසැ සිටුනා කල්හි තෙමේ නැඟී සිටුනේ යැ, නොහොත් (කෙලෙසුන්) නැඟී සිටුනා කල්හි (අනුරූප ප්‍රත්‍යවේක්‍ෂණයෙකින්) විෂ්කම්භණය කරන්නේ යැ, (සමථවිදර්‍ශනාධර්‍මයන්) බැසැ සිටුනා කල්හි නඟාලන්නේ යැ, (සත්ත්‍වයන්) බඹසරැ නො වස්නා කල්හි (තෙමේ) වස්නේ යැ, (සත්ත්‍වයන්) පස්කම්ගුණයෙහි ඇලෙන කල්හි (තෙමේ) නො ඇලෙන්නේ ය යි.
මෙසේ ... පියඤ්ජහ ස්ථවිරයන් වහන්සේ ...
පියඤ්ජහ ස්ථවිරගාථා යි.