1. 6. 3.
53. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිබොගසුඛ හා පියූ වාකවුළු ඇත. ඒ කිළියෙහි නො පමා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
වල්ලිය ස්ථවිරගාථා යි.
1. 6. 4.
54. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත, එහි එකලා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
උත්තිය ස්ථවිරගාථා යි.
1. 6. 5.
55. අඳුන්වනයට වැදැ දික්හඟලාපුටුව කුටිය කොට ගෙන (වෙසෙමින් මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරනලදැ යි.
මෙසේ ... අඤ්ජනවනිය ස්ථවිරයන් වහන්සේ ...
අඤ්ජනවනිය ස්ථවිරගාථා යි.
1. 6. 6.
56. කුටියෙහි කවරෙක් ද? කුටියෙහි වීතරාග වූ මොනවට සන්හුන් සිතැති මහණෙක්මි. ‘තා ගේ කුටිය සඵල කරන ලදැ’යි මෙසේ දනැ යි.
මෙසේ ... කුටිවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
කුටිවිහාරිය ස්ථවිරගාථා යි.
1. 6. 7.
57. මේ පැරණි කුටියක් විය, අන් නවකිළියක් පතන්නෙහි, මහණ, කිළියෙහි ආශාව හරුව, නවකුටිය දුක් එළවා යි.
මෙසේ ... දෙවැනි කුටිවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
දුතියකුටිවිහාරිය ස්ථවිරගාථා යි.
1. 6. 8.
58. සද්ධාදෙය්‍යධනයෙන් නිමවනලද මා ගේ මේ කුටිය සිත්කලු යැ. මට කුමරියන් ගෙන් කම් නැත. කුමරියෙනි, යම් කෙනකුන්ට (තොපගෙන්) වැඩෙක් වේ නම් එහි යව යි.
මෙසේ ... රමණීයකුටික ස්ථවිරයන් වහන්සේ ...
රමණීයකුටික ස්ථවිරගාථා යි.
1. 6. 9.
59. මම සැදැහැයෙන් පැවිදි වීමි, මට වෙනෙහි කුටියක් කරනලදු. අප්‍රමත්ත වූයෙම් කෙලෙසුන් තවන වැර ඇත්තෙම් සම්‍යක්ප්‍රඥා ඇත්තෙම් එළඹ සිටි සිහි ඇත්තෙම් වෙමි යි.
මෙසේ ... කෝසලවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
කෝසලවිහාරිය ස්ථවිරගාථා යි.
1. 6. 10.
60. යමක් ප්‍රයෝජන කොට ඇත්තෙම් කිළියට පිවිසියෙම් ද, මා ගේ ඒ සංකල්පයෝ සමෘද්ධ වූහ, ත්‍රිවිද්‍යා අර්‍හත්ඵලවිමුක්ති සොයන්නෙම් මානානුසයයන් හළිමි.
මෙසේ ... සීවලී ස්ථවිරයන් වහන්සේ ...
සීවලී ස්ථවිරගාථා යි.
ෂෂ්ඨ වර්‍ගය යි.
උද්දානය:
ගෝධික ස්ථවිර යැ, සුබාහු ස්ථවිර යැ, වල්ලිය ස්ථවිර යැ, උත්තිය ස්ථවිර යැ, අඤ්ජනවනිය ස්ථවිර යැ, කුටිවිහාරී ස්ථවිර දෙනම යැ, රමණීයකුටික ස්ථවිර යැ, කෝසල ස්ථවිර යැ, සීවලී ස්ථවිර යැ යි ස වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.