1. 5. 1.
41. විදුලීහු වෙභාර පර්වතයා ගේ ද පාණ්ඩවපර්වතයාගේ ද විවරයෙහි (අතර) වැටෙති. අනුපම වූ තාදීහු (භාග්යවතුන් වහන්සේ) ගේ පුත්ර තෙම පර්වතගුහාගත වැ ධ්යාන කෙරේ යයි.
මෙසේ ... සිරිවඩ්ඪ ස්ථවිරයන් වහන්සේ ...
සිරිවඩ්ඪ ස්ථවිරගාථා යි.
1. 5. 2.
42. චාලා, උපචාලා, සිසූපචාලා හෙරණුනි, (තෙපි) සිහි ඇති වැ වෙසෙවු ද? (තියුණු නුවණ ඇති බැවින්) වාලවේධී ස්වරූප වූ තොපගේ මයිල් (සැරියුත්) තෙරණුවෝ ආහ යි.
මෙසේ ... ඛදිරවනියරේවත ස්ථවිරයන් වහන්සේ ...
ඛදිරවනියරේවත ස්ථවිරගාථා යි.
1. 5. 3.
43. මොනවට මිදුණෙමි, මොනවට මිදුණෙමි, තුන්කුදුයෙන් (මම) මැනවින් මිදුණෙම් වෙමි. මා දෑකැත්තෙන් මිදීම යැ, මා නඟුලින් මිදීම යැ, මා හුදැල්ලෙන් මිදීම යි. ඉදින් (ඒ අසිතාදිය) මෙහි මැ වුව ද එතෙකුදුවත් (එයින්) කම් නැත. කම් නැත. සුමඞ්ගලයෙනි, ධ්යාන වඩව, සුමඞ්ගලයෙනි, ධ්යාන වඩව. අප්රමත්ත වැ වාසය කරව සුමඞ්ගලයෙනි යි.
මෙසේ ... සුමඞ්ගල ස්ථවිරයන් වහන්සේ ...
සුමඞ්ගල ස්ථවිරගාථා යි.
1. 5. 4.
44. මෑණියනි, මළහුට හෝ දිවිවැටෙන යමෙක් නො පැනේ නම් (ඔහුට) හෝ හඬති. මෑණියෙනි, දිවිවැටෙන මා දකිමින් මෑණියනි, කවර හෙයින් මට හඬවු දැ?යි.
මෙසේ ... සානු ස්ථවිරයන් වහන්සේ ...
සානු ස්ථවිරගාථා යි.
1. 5. 5.
45. යම්සේ සොඳුරු වූ අජානීය වෘෂභයා පැකිලැ වහා නැඟී සිටුනේ ද, එසෙයින් දර්ශනසම්පන්න වූ සම්යක්සම්බුද්ධශ්රාවක වූ මා සලකව යි.
මෙසේ ... රමණීයවිහාරී ස්ථවිරයන් වහන්සේ ...
රමණීයවිහාරී ස්ථවිරගාථා යි.
1. 5. 6.
46. මම සැදැහැයෙන් ගිහිගෙන් (නික්මැ) සසුනට පැමිණියෙමි. මා ගේ ස්මෘතියත් ප්රඥාවත් (අර්හත්ත්වය තෙක්) වැඩුණහ. සිතත් මොනවට සමාහිත වෙයි. (මාරය) කැමති සේ විප්රකාර කරව, (තෝ එයින්) මා නො පෙළන්නෙහි මැ යි.
මෙසේ ... සමිද්ධි ස්ථවිරයන් වහන්සේ ...
සමිද්ධි ස්ථවිරගාථා යි.
1. 5. 7.
47. බුද්ධවීරයන් වහන්ස, මුබ වහන්සේට නමස්කාර වේවා! (මුබ වහන්සේ) සියලු සංස්කාරගතයෙහි මොනවට මිදුණහු යැ, (මම) මුබ වහන්සේගේ ප්රතිපත්තිචර්ය්යායෙහි වෙසෙන්නෙම් ආශ්රව රහිත වැ වෙසෙමි යි.
මෙසේ ... උජ්ජය ස්ථවිරයන් වහන්සේ ...
උජ්ජය ස්ථවිරගාථා යි.
1. 5. 8.
48. යම් තැනෙකැ පටන්ගෙන මම ගිහිගෙන් (නික්ම) පැවිද්දට පැමිණියෙම් ද, එතැන් සිට දෝෂයෙන් යුක්ත වූ (එහෙයින් මැ) අනාර්ය්ය වූ සංකල්පයක් (ඉපැදැවූවා) නො දනිමි.
මෙසේ ... සඤ්ජය ස්ථවිරයන් වහන්සේ ...
සඤ්ජය ස්ථවිරගාථා යි.
1. 5. 9.
49. වටුවන්ගේ හඬට (හැඬීම නිසා) ද හුනපුපුළුවන් ගේ නොහොත් දඬුලෙහෙනුන් ගේ හඬට (හඬින්) ද මාගේ ඒ සිත නො සැලෙයි. යම් හෙයකින් මා සිත නිවන් අරමුණු කොට පවතී ද එහෙයිනැ යි.
මෙසේ ... රාමණෙය්ය ස්ථවිරයන් වහන්සේ ...
රාමණෙය්ය ස්ථවිරගාථා යි.
1. 5. 10.
50. දෙරණ ද තෙමෙයි, සිහිල් සුළං හමයි, අහසැ විදුලි කොටයි, මාගේ විතර්කයෝ සන්හිඳෙති, (එහෙයින්) මැ සිත ද සමාහිත වී යයි.
මෙසේ ... විමල ස්ථවිරයන් වහන්සේ ...
විමල ස්ථවිරගාථා යි.
පඤ්චම වර්ගය යි.
උද්දානය:
සිරිවඩ්ඪ ස්ථවිර යැ, ඛදිරවනියරේවත ස්ථවිර යැ, සුමඞ්ගල ස්ථවිර යැ, සානු ස්ථවිර යැ, රමණීයවිහාරී ස්ථවිර යැ, සමිද්ධි ස්ථවිර යැ, උජ්ජය ස්ථවිර යැ, සඤ්ජය ස්ථවිර යැ, රාමණෙය්ය ස්ථවිර යැ, විමල ස්ථවිර යැ යි පස් වැනි වර්ගයෙහි තෙරවරු දස දෙනෙකි.