1. 4. 9.
39. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද, හිස ගිනි ඇවිළ ගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ කාමරාගයන් දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
මෙසේ ... තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
තිස්ස ස්ථවිරගාථා යි.
1. 4. 10.
40. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද හිස ගිනි ඇවිළගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ භවරාගය දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
මෙසේ ... වර්ධමාන ස්ථවිරයන් වහන්සේ ...
වර්ධමාන ස්ථවිරගාථා යි.
චතුර්‍ත්‍ථ වර්‍ගය යි.
උද්දානය:
ගබ්භරතීරිය ස්ථවිර යැ, සුප්පිය ස්ථවිර යැ, සෝපාක ස්ථවිර යැ, පෝසිය ස්ථවිර යැ, සාමඤ්ඤකානි ස්ථවිර යැ, කුමාපුත්‍ර ස්ථවිර යැ, කුමාපුත්‍ර සහායක ස්ථවිර යැ, ගවම්පති ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, මහායසස් ඇති වර්ධමාන ස්ථවිර යැ යි චතුර්‍ත්‍ථ වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
පඤ්චම වර්‍ගය
1. 5. 1.
41. විදුලීහු වෙභාර පර්‍වතයා ගේ ද පාණ්ඩවපර්‍වතයාගේ ද විවරයෙහි (අතර) වැටෙති. අනුපම වූ තාදීහු (භාග්‍යවතුන් වහන්සේ) ගේ පුත්‍ර තෙම පර්‍වතගුහාගත වැ ධ්‍යාන කෙරේ යයි.
මෙසේ ... සිරිවඩ්ඪ ස්ථවිරයන් වහන්සේ ...
සිරිවඩ්ඪ ස්ථවිරගාථා යි.
1. 5. 2.
42. චාලා, උපචාලා, සිසූපචාලා හෙරණුනි, (තෙපි) සිහි ඇති වැ වෙසෙවු ද? (තියුණු නුවණ ඇති බැවින්) වාලවේධී ස්වරූප වූ තොපගේ මයිල් (සැරියුත්) තෙරණුවෝ ආහ යි.
මෙසේ ... ඛදිරවනියරේවත ස්ථවිරයන් වහන්සේ ...
ඛදිරවනියරේවත ස්ථවිරගාථා යි.
1. 5. 3.
43. මොනවට මිදුණෙමි, මොනවට මිදුණෙමි, තුන්කුදුයෙන් (මම) මැනවින් මිදුණෙම් වෙමි. මා දෑකැත්තෙන් මිදීම යැ, මා නඟුලින් මිදීම යැ, මා හුදැල්ලෙන් මිදීම යි. ඉදින් (ඒ අසිතාදිය) මෙහි මැ වුව ද එතෙකුදුවත් (එයින්) කම් නැත. කම් නැත. සුමඞ්ගලයෙනි, ධ්‍යාන වඩව, සුමඞ්ගලයෙනි, ධ්‍යාන වඩව. අප්‍රමත්ත වැ වාසය කරව සුමඞ්ගලයෙනි යි.
මෙසේ ... සුමඞ්ගල ස්ථවිරයන් වහන්සේ ...
සුමඞ්ගල ස්ථවිරගාථා යි.
1. 5. 4.
44. මෑණියනි, මළහුට හෝ දිවිවැටෙන යමෙක් නො පැනේ නම් (ඔහුට) හෝ හඬති. මෑණියෙනි, දිවිවැටෙන මා දකිමින් මෑණියනි, කවර හෙයින් මට හඬවු දැ?යි.
මෙසේ ... සානු ස්ථවිරයන් වහන්සේ ...
සානු ස්ථවිරගාථා යි.
1. 5. 5.
45. යම්සේ සොඳුරු වූ අජානීය වෘෂභයා පැකිලැ වහා නැඟී සිටුනේ ද, එසෙයින් දර්‍ශනසම්පන්න වූ සම්‍යක්සම්බුද්ධශ්‍රාවක වූ මා සලකව යි.
මෙසේ ... රමණීයවිහාරී ස්ථවිරයන් වහන්සේ ...
රමණීයවිහාරී ස්ථවිරගාථා යි.