1. 4. 1.
31. අරණ්යයෙහි වූ මහවනයෙහි මැසිමදුරු ආදීන් විසින් පහස්නා ලද්දේ රණබිම්හි ඇතකු සෙයින් සිහි ඇති වැ එහි ඉවසා වෙසෙන්නේ යි.
මෙසේ ... ගබ්භරතීරිය ස්ථවිරයන් වහන්සේ ...
ගබ්භරතිරිය ස්ථවිරගාථා යි.
1. 4. 2.
32. දිරායන ආත්මභාවයෙන් අජරය (නිවන), තැවෙන ආත්මභාවයෙන් පරමශාන්ති වූ යෝගක්ෂේම වූ නිරුත්තර වූ නිවන පිරිවටන්නෙමි. (ගනුදෙනු කරන්නෙමි යි සේ යි)
මෙසේ ... සුප්පිය ස්ථවිරයන් වහන්සේ ...
සුප්පිය ස්ථවිරගාථා යි.
1. 4. 3.
33. යම්සේ ප්රිය වූ එක් මැ පුතු කෙරෙහි හිතෛෂී වන්නේ නම් එසේ සියලු සතුන් කෙරෙහි හැම තැන්හි හිතෛෂී වන්නේ ය.
මෙසේ ... සෝපාක ස්ථවිරයන් වහන්සේ ...
සෝපාක ස්ථවිරගාථා යි.
1. 4. 4.
34. දන්නහු විසින් හැම කල්හි මැ තෙල මාගම්හු නො එළඹෙන ලද්දාහු උතුම් වෙති. ‘පෝසිය’ නම් වූ මම අරණ්යයෙන් ගමට අවුත් ඉක්බිති ගෙට පිවිසියෙමි, ඒ යහනින් නැඟී බසකුදු නො බැණ පිටත්වූයෙමි.
මෙසේ ... පෝසිය ස්ථවිරයන් වහන්සේ ...
පෝසිය ස්ථවිරගාථා යි.
1. 4. 5.
35. යමෙක් නිවනට පැමිණෙනු සඳහා ඍජුමාර්ග වූ ආර්ය්යඅෂ්ටාඞ්ගමාර්ගය වඩා ද ඒ පිළිවෙත් පුරන සුව කැමැත්තේ (නිරාමිස) සුවය ද ලැබෙයි, කීර්තියට ද පැමිණෙ යි, ඔහුගේ යසස ද වැඩේ.
මෙසේ ... සාමඤ්ඤකානි ස්ථවිරයන් වහන්සේ ...
සාමඤ්ඤකානි ස්ථවිරගාථා යි.
1. 4. 6.
36. (දශකථාවස්තු) ශ්රවණය මැනැවැ, ඒ අනුව හැසිරීම ද, මැනැවැ, හැම කල්හි (ක්ලේශනිවාස වූ) පඤ්චකාමගුණයෙන් වෙන් වැ විසීම මැනැවැ, අරුත් පිළිවිසීම මැනැවැ, එය ගෞරවයෙන් පිළිගැනීම මැනැවි. තෙල කිඤ්චන (පළිබෝධ) රහිත වූවහු ගේ මහණදම වේ යයි.
මෙසේ ... කුමාපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
කුමාපුත්ත ස්ථවිරගාථා යි.
1. 4. 7.
37. අසංයත වැ හැසිරෙන්නාහු නොයෙක් ජනපදයට යෙති, චිත්තසමාධිය ද වරද්දාගනිති, ජනපදචාරිකාව කවර අර්ත්ථයක් කරන්නේ ද එහෙයින්, (අරති වශයෙන් උපන්) සාරම්භය දුරැලා (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො පෙරටු කරන ලදුයේ ධ්යාන කරන්නේ යයි.
මෙසේ ... කුමාපුත්ත තෙරුන්ගේ සහායක ස්ථවිරයන් වහන්සේ ...
කුමාපුත්ත ස්ථවිර සහායකත්ථේරගාථා යි.
1. 4. 8.
38. යමෙක් ඍද්ධිබලයෙන් ‘සරභූ’ නම් ගඟ නැවැත්වී ද, ඒ ගවම්පති තෙම (තෘෂ්ණාදෘෂ්ටි) නිශ්රය රහිත වූයේ (එහෙයින් මැ) නික්ලේශී වෙයි, සියලු (රාගාදික්ලේශ) සඞ්ගයන් ඉක්ම ගිය භවපාරයට පැමිණි ඒ මහමුනිහු දෙවියෝ නමදිත් යයි.
මෙසේ ... ගවම්පති ස්ථවිරයන් වහන්සේ ...
ගවම්පති ස්ථවිරගාථා යි.
1. 4. 9.
39. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද, හිස ගිනි ඇවිළ ගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ කාමරාගයන් දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
මෙසේ ... තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
තිස්ස ස්ථවිරගාථා යි.
1. 4. 10.
40. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද හිස ගිනි ඇවිළගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ භවරාගය දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
මෙසේ ... වර්ධමාන ස්ථවිරයන් වහන්සේ ...
වර්ධමාන ස්ථවිරගාථා යි.
චතුර්ත්ථ වර්ගය යි.
උද්දානය:
ගබ්භරතීරිය ස්ථවිර යැ, සුප්පිය ස්ථවිර යැ, සෝපාක ස්ථවිර යැ, පෝසිය ස්ථවිර යැ, සාමඤ්ඤකානි ස්ථවිර යැ, කුමාපුත්ර ස්ථවිර යැ, කුමාපුත්ර සහායක ස්ථවිර යැ, ගවම්පති ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, මහායසස් ඇති වර්ධමාන ස්ථවිර යැ යි චතුර්ත්ථ වර්ගයෙහි තෙරවරු දස දෙනෙකි.