1. 3. 4.
24. පැවිදි එක්වස් ඇතියෙහි, ධර්‍මයාගේ (ස්වාක්ඛාතතාදි) සුධර්‍මත්‍වය බලව, (තොප විසින්) ත්‍රිවිද්‍යාව ලබනලද යැ, සම්බුදුන්ගේ අවවාදය කරනලදි.
මෙසේ ... සුගන්‍ධ ස්ථවිරයන් වහන්සේ ...
සුගන්‍ධ ස්ථවිරගාථා යි.
1. 3. 5.
25. යම් මහණක්හුගේ සිත එක්වන් හටගත් ඥානාවභාස ඇත්තේ අග්‍රඵලයට පැමිණියේ වේ ද, මාරය, එබඳු මහණහු ගටා තෝ දුකට පැමිණෙන්නෙහි.
මෙසේ ... නන්‍දිය ස්ථවිරයන් වහන්සේ ...
නන්‍දිය ස්ථවිරගාථා යි.
1. 3. 6.
26. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේගේ සුභාෂිතය අසා (දක්‍ෂ දුනුවායකු) වලග හීයෙන් විදුනාක් මෙන් සියුම් වූ නිරෝධසත්‍යය අවබෝධ කෙළෙමි.
මෙසේ ... අභය ස්ථවිරයන් වහන්සේ ...
අභය ස්ථවිරගාථා යි.
1. 3. 7.
27. විවේකසුව වඩනුයෙම් හීතණ කුසතණ වැලුක් සුවඳහොට මුදුතණ බබුස්තණ උරයෙනුදු බැහැර කරන්නෙමි. (පයින් ඇක්මෙනු කියනු කිම.)
මෙසේ ... ලෝමසකඞ්ගිය ස්ථවිරයන් වහන්සේ ...
ලෝමසකඞ්ගිය ස්ථවිරගාථා යි.
1. 3. 8.
28. කිම (චීවරමණ්ඩනාදීන්) වස්ත්‍රයෙහි නිරත නො වූවහු ද, කිම ශරීරමණ්ඩනයෙහි නො ඇලුණහු ද, කිම තෙපි සිල්සුවඳ හමවු ද, සෙසු දුශ්ශීලප්‍රජාව සිල්සුවඳ නො හමා.
මෙසේ ... ජම්බුගාමිය ස්ථවිරයන් වහන්සේ ...
ජම්බුගාමිය ස්ථවිරගාථා යි.
1. 3. 9.
29. එම්බා හාරිත, සිත (කුසිතයෙන්) නඟාලව, හීවඩුවෙක් හීය මෙන් සිත ඍජු කොට ගෙන අවිද්‍යාව පළව.
මෙසේ ... හාරිත ස්ථවිරයන් වහන්සේ ...
හාරිත ස්ථවිරගාථා යි.
1. 3. 10.
30. මට ආබාධය උපන් කල්හි “මට ආබාධයෙක් උපන, මා විසින් නො පමාවන්නට කලැ” යි මට සිහි උපනි.
මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
උත්තිය ස්ථවිරගාථා යි.
තෘතීය වර්‍ගය යි.
උද්දානය:
නිග්‍රෝධ ස්ථවිර යැ, චිත්තක ස්ථවිර යැ, ගෝසාල ස්ථවිර යැ, සුගන්‍ධ ස්ථවිර යැ, නන්‍දිය ස්ථවිර යැ, අභය ස්ථවිර යැ, ලෝමසකඞ්ගිය ස්ථවිර යැ, ජම්බුගාමියපුත්ත ස්ථවිර යැ, හාරිත ස්ථවිර යැ, උත්තිය ස්ථවිර යැ යි තෘතීය වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.