දොළොස් වැනි වග
1. 12. 1.
111. ඒකාන්තයෙන් පැවිද්ද දුෂ්කර යැ, ගෘහයෝ දුෂ්කරවාස ඇත්තාහු යැ, දහම් ගැඹුරු වෙයි, භෝගයෝ දුකසේ ලැබියයුත්තාහ. යථාලාභ ප්රත්යයෙන් මැ අප ගේ දිවිවැටුම දුක් වෙයි, එහෙයින් නිතර අනිත්යය මෙනෙහි කිරීම යුතුය යි.
මෙසේ ... ජෙන්ත ස්ථවිරයන් වහන්සේ ...
ජෙන්ත ස්ථවිරගාථා යි.
1. 12. 2.
112. මම ත්රිවිද්යා ඇත්තෙම් මහත් ධ්යාන ඇත්තෙම් චිත්තශමථයෙහි දක්ෂ වූයෙම් වෙමි, මා විසින් ස්වාර්ත්ථය (අර්හත්ත්වය) ලබනලද්දේ ය, බුදුන් ගේ අවවාදය කරනලදැ යි.
මෙසේ ... වච්ඡගොත්ත ස්ථවිරයන් වහන්සේ ...
වච්ඡගොත්ත ස්ථවිරගාථා යි.
1. 12. 3.
113. පහන්දිය ඇති පුළුල් ගලතල ඇති ගොනඟුලන් (වඳුරන්) හා සියුපාසතුන් ගෙන් යුත් දියසෙවෙලින් ගැවසීගත් ඒ පර්වතයෝ මා සිත් අලවත් යයි.
මෙසේ ... වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
වනවච්ඡ ස්ථවිරගාථා යි.
1. 12. 4.
114. දිවි ගෙවීයන කල්හි කායපෝෂණයෙහි නියැලුණු ශරීරසුඛයෙහි ගිජු වූවහුට ශ්රමණ භාවයෙන් ලැබිය හැකි සාධුත්වය කොයින් ලැබේ දැ යි.
මෙසේ ... අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ ...
අධිමුත්ත ස්ථවිරගාථා යි.
1. 12. 5.
115. (එම්බා මහානාමයෙනි, කමටහන් මෙනෙහි නොකරන) තෙල තෝ බොහෝ කෙළිඳ හා ඉඳුසල්ගස් ඇති (නො එක් රුක්ලියෙන්) හාත්පසින් වැසුණු ප්රසිද්ධ වූ මේ ‘නේසාද’ නම් පර්වතයෙන් පිරිහෙන්නෙහි යයි.
මෙසේ ... මහානාම ස්ථවිරයන් වහන්සේ ...
මහානාම ස්ථවිරගාථා යි.
1. 12. 6.
116. ආධ්යාත්මික ෂඩායතනය (එය පිළිබඳ කෙලෙස් නැසීම් විසින්) හැරැපියා පියූ සදොර ඇතියෙම් මොනොවට සංවර වූයෙමි. මා විසින් සසරදුකට මුල (අවිද්යාව හා භවතෘෂ්ණාව) වමාරාදමා ආස්රවක්ෂය (අර්හත්වය) ලබන ලද්දේ යයි.
මෙසේ ... පාරාසරිය ස්ථවිරයන් වහන්සේ ...
පාරාසරිය ස්ථවිරගාථා යි.
1. 12. 7.
117. මම මනා සුවඳින් අලෙව් දෙන ලද්දෙමි. මහ ඇඟි කසීසළු ඇන්දෙම් සියලු අබරණින් සැරැසුණෙම් ත්රිවිද්යාව ලදිමි. (මා විසින්) බුදුන්ගේ ශාසනය කරන ලදැ යි.
මෙසේ ... යස ස්ථවිරයන් වහන්සේ ...
යස ස්ථවිරගාථා යි.
1. 12. 8.
118. වයස (යෞවනය) ඇණවන ලද්දකු සෙයින් (වහා) ඇදැවැටෙයි. එසේ මැ විද්යමාන වූ රූපය ද අනෙකකු මෙනි. විප්රවාසයෙක් නැති ඒ මාගේ මැ ආත්මය අනෙකක්හු ගේ මෙන් සිහි කෙරෙම් යයි.
මෙසේ ... කිම්බිල ස්ථවිරයන් වහන්සේ ...
කිම්බිල ස්ථවිරගාථා යි.
1. 12. 9.
119. රුක්මුල්වදුලට පිවිස නිවන ළෙහි තබාගෙන ගෞතමයෙනි ධ්යාන කරව, නහමක් ප්රමාද වව. බිලිබිලිකා (බිලිබිලිහඬ) තට කවර අර්ත්ථයක් සාධන්නේ දැ යි.
මෙසේ ... වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
වජ්ජිපුත්ත ස්ථවිරගාථා යි.
1. 12. 10.
120. පඤ්චස්කන්ධයෝ (මා විසින්) පරිඥාතයහ. ඔහු මුල්සුන් වැ සිටිති. මා විසින් දුඃඛක්ෂය සඞ්ඛ්යාත නිවන ලබනලද, ආස්රවක්ෂය (අර්හත්ත්වය) ලබනලදැ යි.
මෙසේ ... ඉසිදත්ත ස්ථවිරයන් වහන්සේ …
ඉසිදත්ත ස්ථවිරගාථා යි.
දොළොස් වැනි වග යි.
උද්දානය:
ජෙන්ත ස්ථවිර යැ, වච්ඡගොත්ත ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, අධිමුත්ත ස්ථවිර යැ, මහානාම ස්ථවිර යැ, පාරාසරිය ස්ථවිර යැ, යස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, වජ්ජිපුත්ත ස්ථවිර යැ, ඉසිදත්ත ස්ථවිර යැ යි දොළොස් වැනි වගැ තෙරවරු දස දෙනෙකි.
කොට නිමැවූ බඹසර කිස ඇති අනාස්රව වූ මහර්ෂී වූ තෙරවරු එක්සියවිසි දෙනෙක් ඒකක නිපාතයෙහි මැ ගාථා වදාළහ යි.
ඒකකනිපාතය නිමි.