1. 11. 6.
106. නො එක් ලිඞ්ග ඇති නො එක් ලක්‍ෂණ ධරන අර්‍ත්‍ථයා ගේ එක් අඞ්ගයක් දක්නාසුලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නො එක් අඞ්ග(සියල්ල) දක්නාසුලු වූයේ මැ ප්‍රාඥ වේ යයි.
මෙසේ ... සුහේමන්ත ස්ථවිරයන් වහන්සේ ...
සුහේමන්ත ස්ථවිරගාථා යි.
1. 11. 7.
107. (කාමයෙහි ආදීනව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්) තුලනය කොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීමි, (ඒ මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරන ලදැ යි.
මෙසේ ... ධම්මසව ස්ථවිරයන් වහන්සේ ...
ධම්මසව ස්ථවිරගාථා යි.
1. 11. 8.
108. ඒ මම(ජාතියෙන්) එක්සියවිසිවස් ඇත්තෙම් සස්නෙහි පැවිදි වීමි. (මා විසින්) ත්‍රිද්‍යා ලබනලදු. බුදුසසුන් කරනලදැ යි.
මෙසේ ... ධම්මසවපිතු ස්ථවිරයන් වහන්සේ ...
ධම්මසවපිතු ස්ථවිරගාථා යි.
1. 11. 9.
109. මේ මහණ රහසිගත වැ (කායවිවේකයුක්ත වැ) පරමහිතානුකම්පී භාග්‍යවත්හු ගේ පිළිවෙත් සසුන් නො තකා යි හැඟිමි. ඒ එසේ මැ යි. මේ තෙමේ වනයෙහි තරුණ ස්වභාව ඇති මුවඟනක සේ පියවි ඉඳුරන් ඇති වැ වෙසේ යයි.
මෙසේ ... සඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ ...
සඞ්ඝරක්ඛිත ස්ථවිරගාථා යි.
1. 11. 10.
110. කඳුමුදුන්හි මොනොවට වැඩුණු, වැසිකල්හි මහත් වූ අභිනව මේඝය විසින් තෙමනලද වෘක්‍ෂයෝ අරණ්‍යයෙහි ගිය සංඥා ඇති විවේකය කැමති උසභහට මතුමත්තෙහි (භාවනාවට) සුදුසුබව උපදවත් යයි.
මෙසේ ... උසභ ස්ථවිරයන් වහන්සේ ...
උසභ ස්ථවිරගාථා යි.
එකොළොස් වැනි වග යි.
උද්දානය:
බෙලට්ඨානික ස්ථවිර යැ, සේතුච්ඡ ස්ථවිර යැ, බන්‍ධුර ස්ථවිර යැ, ඛිතක ස්ථවිර යැ, මලිතවම්භ ස්ථවිර යැ, සුහේමන්ත ස්ථවිර යැ, ධම්මසව ස්ථවිර යැ, ධම්මසවපිතු ස්ථවිර යැ, සඞ්ඝරක්ඛිත ස්ථවිර යැ, උසභ ස්ථවිර යැ යි එකොළොස් වැනි වගෙහි තෙරවරු දස දෙනෙකි.