1. 10. 9.
99. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනුවක්හට ශබ්දාලම්බනයක් අසා සිහි මුළා වී ද, ඇලුණු සිතැති හෙතෙම ඒ ශබ්දාලම්බනය විඳගන්නේ වේ ද, එහි බැසගෙන සිටුනේ ත් වේ ද, ඔහුට සසරට පමුණුවන ආස්‍රවයෝ වැඩෙත් ය යි.
මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
උත්තිය ස්ථවිරගාථා යි.
1. 10. 10.
100. සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ සීවටන් අරමුණු කොටැ ඇති විමුක්ති නැමැති මලින් සැදුණු මහණ ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නේ යි.
මෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...
දේවසභ ස්ථවිරගාථා යි.
දස වැනි වග යි.
උද්දානය:
පරිපුණ්ණක ස්ථවිර යැ විජය ස්ථවිර යැ එරක ස්ථවිර යැ මෙත්තජි ස්ථවිර යැ චක්ඛුපාල ස්ථවිර යැ ඛණ්ඩසුමන ස්ථවිර යැ තිස්ස ස්ථවිර යැ අභය ස්ථවිර යැ මහාප්‍රාඥ වූ උත්තිය ස්ථවිර යැ දේවසභ ස්ථවිර යැ යි දස වැනි වගෙහි තෙරවරු දස දෙනෙකි.
එකොළොස් වැනි වග
1. 11. 1.
101. ගිහි බව හැරැපියා වැසැ නිම කළ ආර්‍ය්‍යවාස නැති (ආත්ම ඛණනයෙහි) මුව මැ නඟුල කොට ඇති උදරපූරණයෙහි නියැලුණු කුසීත වූ අඥාන තෙමේ (කුඩු ආදී) හූරුබකින් පුස්නාලද මහහූරකු මෙන් පුනපුනා ගර්‍භවාසයට පැමිණේ යයි.
මෙසේ ... බෙලට්ඨානික ස්ථවිරයන් වහන්සේ ...
බෙලට්ඨානික ස්ථවිරගාථා යි.
1. 11. 2.
102. (නවවිධ) මානයෙන් නුළුවාහු සඞ්ඛතධර්‍මයන් විෂයෙහි (තෘෂ්ණාදි) විසින් කෙලෙසෙන්නාහු ලාභාලාභ හෙයින් මඩනාලද්දාහු චිත්තසමාධිය නො ලබත් යයි.
මෙසේ ... සේතුච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
සේතුච්ඡ ස්ථවිරගාථා යි.
1. 11. 3.
103. මම තෙල ආමිසරසයෙන් ප්‍රයෝජන ඇත්තෙම් නො වෙමි, ධර්‍මරසයෙන් සුඛිතයෙමි, සුහිතයෙමි, උතුම් වූ අග්‍ර (දහම්) රසය පානය කොට (පස්කම්සුව) විෂය සමඟ සන්‍ථවය නො කරන්නෙමි.
මෙසේ ... බන්‍ධුර ස්ථවිරයන් වහන්සේ ...
බන්‍ධුර ස්ථවිරගාථා යි.
1. 11. 4.
104. මා ගේ සිරුර එකත්නෙන් ලුහු වූයේ වෙයි, මහත් වූ ප්‍රීති සුඛයෙන් පහස්නාලද්දේත් වෙයි, මා ගේ සිරුර සුළඟින් නඟන ලද පුලුන්රොදක් සෙයින් (අහස්හි) පාවේ යයි.
මෙසේ … ඛිතක ස්ථවිරයන් වහන්සේ ...
ඛිතක ස්ථවිරගාථා යි.
1. 11. 5.
105. මම උකටලියෙම් නමුදු වෙසෙමි, බැහැර නො යෙමි, ඇලෙනුයෙම් නමුදු පියායෙමි, නො වෙසෙමි, නුවණැති මහණ අනර්‍ත්‍ථ එළවන වාසය නො කරන්නේ මැ යි.
මෙසේ ... මලිතවම්භ ස්ථවිරයන් වහන්සේ ...
මලිතවම්භ ස්ථවිරගාථා යි.
1. 11. 6.
106. නො එක් ලිඞ්ග ඇති නො එක් ලක්‍ෂණ ධරන අර්‍ත්‍ථයා ගේ එක් අඞ්ගයක් දක්නාසුලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නො එක් අඞ්ග(සියල්ල) දක්නාසුලු වූයේ මැ ප්‍රාඥ වේ යයි.
මෙසේ ... සුහේමන්ත ස්ථවිරයන් වහන්සේ ...
සුහේමන්ත ස්ථවිරගාථා යි.