1. 10. 6.
96. එක් (සමන්) මලක් පුදා අසූ කෙළක් හවුරුදු සගසුව විඳැ ඒ පුණ්‍යකර්‍මයාගේ ශේෂයෙන් පිරිනිවියෙම් වෙමි.
මෙසේ ... ඛණ්ඩසුමන ස්ථවිරයන් වහන්සේ ...
ඛණ්ඩසුමන ස්ථවිරගාථා යි.
1. 10. 7.
97. සියක් පලමක් අගනා නොයෙක් රූපලේඛා ඇති රන්මුවා තලිය හැරැදමා මැටිමුවා පයක් ගතිමි, මේ මා ගේ දෙ වැනි අභිෂේකය යි.
මෙසේ ... තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
තිස්ස ස්ථවිරගාථා යි.
1. 10. 8.
98. ප්‍රියනිමිත්ත මෙනෙහි කරනුවක්හට රූ අරමුණ දැක සිහි මුළා වී ද, ඇලුණු සිතැති හෙතෙම ඒ රූපාලම්බනය විඳගන්නේ වේ ද, එහි බැසගෙන සිටුනේ ත් වේ ද, ඔහුට භවයට මුල් වූ භවගාමී වූ ආස්‍රවයෝ වැඩෙත් යයි.
මෙසේ ... අභය ස්ථවිරයන් වහන්සේ ...
අභය ස්ථවිරගාථා යි.
1. 10. 9.
99. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනුවක්හට ශබ්දාලම්බනයක් අසා සිහි මුළා වී ද, ඇලුණු සිතැති හෙතෙම ඒ ශබ්දාලම්බනය විඳගන්නේ වේ ද, එහි බැසගෙන සිටුනේ ත් වේ ද, ඔහුට සසරට පමුණුවන ආස්‍රවයෝ වැඩෙත් ය යි.
මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
උත්තිය ස්ථවිරගාථා යි.
1. 10. 10.
100. සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ සීවටන් අරමුණු කොටැ ඇති විමුක්ති නැමැති මලින් සැදුණු මහණ ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නේ යි.
මෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...
දේවසභ ස්ථවිරගාථා යි.
දස වැනි වග යි.
උද්දානය:
පරිපුණ්ණක ස්ථවිර යැ විජය ස්ථවිර යැ එරක ස්ථවිර යැ මෙත්තජි ස්ථවිර යැ චක්ඛුපාල ස්ථවිර යැ ඛණ්ඩසුමන ස්ථවිර යැ තිස්ස ස්ථවිර යැ අභය ස්ථවිර යැ මහාප්‍රාඥ වූ උත්තිය ස්ථවිර යැ දේවසභ ස්ථවිර යැ යි දස වැනි වගෙහි තෙරවරු දස දෙනෙකි.