5. 16.
පිඞ්ගියමාණව පෘච්ඡා
1125. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි) මම ජීර්ණයෙමි, දුර්වලයෙමි, විවර්ණයෙමි, (මාගේ) නේත්රයෝ ශුද්ධ නො වෙති, ශ්රවණය ද පහසු නැත, මම (මුඹ වහන්සේගේ දහම් පසක් නොකොට) අතුරෙහි මැ මුළා වූ යෙම් නහමක් මියෙම්වා. මේ පහණසෑවෙහෙරෙහි මැ ජාති ජරාවන්ගේ ප්රහාණය වූ යම් දහමක් අසා මම දැනගන්නෙම් නම්, එ දහම වදාළ මැනැව.
1126. (බුදුහු මෙසේ වදාළහ: පිඞගියෙනි,) රූප නිමිතින් නැසෙන වුන් දැක (කුශලධර්මයන්හි) ප්රමත්ත වූ ජනයෝ රූපයන් නිමිති කොට පෙළෙති. පිඞ්ගිය, තෙපි (කුශලධර්මයෙහි) අප්රමත්තව පුනර්භවය නො වනු පිණිස රූපය දුරු කරව.
1127. සතර දිග ය, සතර අනු දිග ය උඩ ය යට ය යන මේ දස දික් කෙනෙක් වෙත් ද, ලොව් හි මෙ හැම තන් හි මුඹ වහන්සේ විසින් නො දක්නා ලද, නො අසන ලද ආඝ්රාණ, ස්වාදන, ස්පර්ශන නොකරන ලද යළි නො දක්නා ලද කිසිවක් නැති මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාති ජරාවන්ගේ ප්රහාණය වූ යම් (නිර්වාණ) දහමක් මම් දැනගන්නෙම් නම්, එ දහම වදාළ මැනව.
1128. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: පිඞ්ගියෙනි, යම් හෙයකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්වයන් හටගත් සිත් තැවුලි ඇතියන් ජරායෙන් මඬනා ලද්දවුන් සේ දක්නවු ද එ හෙයින් පිඞ්ගියෙනි, තෙපි අප්රමත්ත වැ පුනර්භවය නො වනු පිණිස තෘෂ්ණාව දුරු කරවයි.
පිඞ්ගියමාණව පෘච්ඡා නිමි.
භාග්යවතුන් වහන්සේ මගධ දනවුයෙහි පාසාණක චේතිය නම් වෙහෙරෙහි වැඩ වසනසේක, මෙය දෙසූ සේක. බාවරීහුගේ අතැවැසි සොළොස් බමුණන් විසින් අයදනා ලද්දාහු පුළුවුත්පුළුවුත් පැන විසඳූ සේක. ඉදින් යමෙක් එකෙකි පැනයෙකැ පෙළ දැන අරුත් දැන ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි පිළිපදනේ නම් හේ ජරාමරණයන්ගේ පරතෙරට යන්නේ මැ ය, යම් හෙයෙකින් මේ ධර්මයෝ (නිර්වාණ) පාර ගමනාර්හ වෙත් ද එ හෙයින් මේ ධර්ම පර්ය්යායට ‘පරායන’ යනු මැ නම් වී ය.
1129. අජිතය, තිස්සමෙත්තෙය්ය ය, පූර්ණක ය, යළි මෙත්තගූ ය,ධෝතක ය. උපසීව ය, නන්ද ය, යළි හේමක ය,
1130. තෝදෙය්ය කප්ප යන දෙදෙනාය, පණ්ඩිත වු ජතුකණ්ණී ය, භද්රාවුධ ය, උදය, පෝසාල බ්රාහ්මණ ය, පණ්ඩිත වූ මෝඝරාජ ය, මහාර්ෂී වූ පිඞ්ගී ය ද යන.
1131. මොහු සමෘද්ධ වූ පසළොස් චරණධර්ම ඇති මහර්ෂී වූ භාග්යවතුන් වහන්සේ කරා පැමිණියහ. සියුම් පැන පුළුවුස්නාහු බුද්ධශ්රේෂ්ඨයන් කරා පැමිණියහ.