1031. එක්බිති අජිතමාණව මහත් ප්‍රීතියෙන් සංස්තබ්ධ වැ අඳුන් දිවි සම් එකස් කොටලා (බුදුන්) පාපිට හිස්තබා වැඳ වැටිනි.
1032 “නිදුකානන් වහන්ස, පසැසුන් වහන්ස, බාවරී බ්‍රාහ්මණ ඔද වැඩි සිතැති වැ, සොම්නස් වැ භවත්හුගේ පා වඳනේ ය’යි.
1033. බාවරී බමුණු අතැවැසියන් හා සමග සුවපත් වේවා, මාණවය, තො ද සුවපත් වෙයි, සැරදෙයි, (වදාළෝ)
1034. තෙපි කළ අවකාශ ඇතියවු, යමක් පුළුවුස්නට සිතින් කැමැතියවු නම්, බාවරීහුගේ වේවයි, තොප හැමගේ වේවයි, එ හැම සංශය පුළුවුස්වයි (වදාළසේක)
1035. සම්බුදුන් විසින් කළ අවකාශ ඇති අජිතමාණව බඳැදිලි වැ හිඳ එහි පළමු පැන බුදුන් පිළිවිත්.
වස්තු ගාථා නිමි.
5. 1.
අජිතමාණව පෘච්ඡා
1036. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුනේ ) ද? කවර හෙයින් නො පැණේ ද? ඔහට කිමෙක් අභිලේපන (ලහටු) වේ’යයි වදාරණසේක් ද? කිමෙක් ඔහට මහබිය නමි වේදැ’යි.
1037. (අජිතයෙනි, යි බුදුහු වදාළහ), ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ. මාත්සර්‍ය්‍ය හෙයින් ප්‍රමාද හෙයින් ප්‍රකාශිත නො වෙයි, තෘෂ්ණාව අභිලේපන යයි කියමි, ඔහට (ජාත්‍යාදි) දුක මහබිය වෙයි.
1038. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) හැම තන්හි (රූපාදි හැම ආයතනයන්හි තෘෂ්ණාදි ) ස්‍රෝතස්හු ගලායෙති. ස්‍රෝතසුන්ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන්ගේ සංවරය වදාළමැනැවි. කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද?
1039. අජිතයෙනි, (යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක:), ලොව යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් නම්, ස්මෘතිය ඔවුන්ට ආවරණ යැ. (එ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ සංවර යයි කියමි. (මාර්‍ග) ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙත්.
1040. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) නිදුකානන් වහන්ස, ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන තෙල සියල්ල කොහි නිරුද්ධ වේ ද? මා විසින් පුළුවුස්නාලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළමැනව.
1041. අජිතයෙනි, තෙපි යම් පැනයක් විචාළවු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවෂේශයෙන් නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හාමැ (පෙර පසු නැතිව) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි. (විඥානනිරෝධය ඉක්මැ නො යෙයි).
1042. නිදුකානන් වහන්ස, මේ ලෝකයෙහි (අනිත්‍යාදි විසින්) විමසන ලද දහම් ඇති යම් (අශෛක්‍ෂ) කෙනෙක් වෙත් නම් යම් බොහෝ වූ ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් නම්, මා විසින් පුළුවුස්නා ලද සේක් (ශෛක්‍ෂාශෛක්‍ෂධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය වදාළ මැනැව.
1043. කාමයෙහි ගිජු නොවන්නේ ය. සිතින් නොකැළැඹුනෙක් වන්නේ ය. මහණ සකලධර්‍මයන්හි කුශල වූයේ ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යැ යි.
අජිතමාණව පෘච්ඡා නිමි.