2. 5.
සූචිලෝම සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ගයා ගම නොදුරෙහි ටඞ්කිතමඤ්චයෙහි වූ සුචිලෝම යක්ෂයාගේ භවනයෙහි වැඩවෙසෙන සේක. එ සමයෙහි ‘ඛර’ නම් යක්ෂ ද, සුචිලෝම යක්ෂ ද, භාග්යවතුන් වහන්සේට නුදුරෙහි ඉක්මයෙති.
ඉක්බිති ඛර යක්ෂයා සුචිලෝම යක්ෂයා හට මෙසේ කීය: තෙල ශ්රමණයෙක. තෙල ශ්රමණයෙක් නො වේ. තෙල (ශ්රමණ ප්රතිරූපක) ශ්රමණකයෙකි. හෙතෙමේ ශ්රමණයෙක් ද නැතහොත් ශ්රමණකයෙක් දැයි යම්තාක් දනිම් නම් ඒ තාක් නවතුව.
ඉක්බිති සුචිලෝම යක්ෂ භාග්යවතුන් වහන්සේ වෙත එළඹ භාග්යවතුන් වහන්සේට (සිය) කය නතු කෙළේය.
ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ (සිය) කය පසෙකට නැමූ සේක.
ඉක්බිති සුචිලෝම යක්ෂ භාග්යවතුන් වහන්සේ හට තෙල කීය:
මහණ මට බානෙහි ද?
ඇවත, මම තට නො බානෙම් ම ය, එතෙකුදු වුව තාගේ පහස පවිටු ය.
මහණ, තා පැන පුළුවුස්නෙමි. ඉදින් මට (එය) නො පවසන්නෙහි නම් තාගේ සිත හෝ පෙරළන්නෙමි, තා හදවත හෝ පලන්නෙමි දෙපයැ හෝ ගෙණ ගඟින් එතර දමා ගසන්නෙමි.
ඇවැත, යමෙක් මා සිත හෝ පෙරළා නම් හදවත හෝ පලා නම්, දෙපයැ හෝ ගෙණ ගඟිනෙතර දමා ගසා නම්, එබන්දකු මම දෙවියන් සහිත, මරුන් සහිත බඹුන් සහිත, ලොව්හි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්වප්රජාව අතර නො ම දක්මි. එතෙකුදු වුවත් ඇවත, තෝ යමක් අසනට රිසියෙහි නම් පුළුවුස්ව.
ඉක්බිති සුචිලෝම යක්ෂ භාග්යවතුන් වහන්සේට ගාථවෙකින් සැලකෙළේ ය:
272. රාගය හා ද්වේෂය හා කුමක් නිදාන කොට ඇත්තාහු ද? (ප්රාන්තශයනාසනයන්හි හා අධිකුශලධර්මයන්හි නො ඇලීම වූ) අරතිය හා (පස්කම් ගුණෙහි ඇල්ම වූ) රතිය හා (චිත්තෝ ත්රාසය වූ) ලොමුදහගැණීම් හා කොයින් උපදනාහු ද? කාමාදි විතර්කයෝ කොයින් ඉපද ලදරුවන් කවුඩුවකු (පා හුයෙකින්) බැඳ මුදා හරින්නාක් මෙන් කුසල චිත්තය බැඳ හරිත් ද?
273. රාගය හා ද්වේෂය හා (පංචස්කන්ධ සඞ්ඛ්යාත) ආත්මභාවය නිදාන කොට ඇත්තාහ. අරතිය හා රතිය හා ලොමුදහගැණීම හා, මෙයින් (ආත්මභාවයෙන්) උපදනාහු වෙති. මෙයින් ඉපදී විතර්කයෝ කුඩා කුමරුන් කවුඩකු මෙන් කුසල් සිත බැඳ හරිත්.
274. නුගරුකෙහි කඳින් උපදනා අරළු (ප්රරෝහ) මෙන් ස්නේහයෙන් උපන් රාගාදීහු (පඤ්චස්කන්ධ සඞ්ඛ්යාත) ආත්මභාවයෙන් උපන්නාහු වෙති. වෙනෙහි පැතිර ගිය මාලුව ලිය මෙන් ඔහු නන් අයුරු වූවාහු කාමයන්හි පැතිරගත්තාහු වෙති.
275. යක්ෂය, අසව, යමෙක් තුමූ ඒ රාගාදී ක්ලේශ සමූහය යමක් නිදාන කොට ඇතැයි දනිත් ද, ඔහු එය දුරලති. ඔහු අපුනර්භවය පිණිස තරණය නොකළ විරූ, දුකසේ තරණය කළ යුතු, මේ චතුරෝඝය තරණය කෙරෙත් යි.
සුචිලෝම සූත්රය නිමි.
2. 6.
කපිල සූත්රය
276. (කාය සුචරිතාදි) ධර්මචර්ය්යය හා මගබඹසර හා යන මේ දෙ කරුණ උතුම් රුවනැයි (ආර්ය්යයෝ) පැවසූහ. ගිහිගෙන් නික්ම අනගාර්ය්ය සඞ්ඛ්යාත ශාසනයෙහි පැවිදිවූයෙක් වේ නම්,
277. ඉදින් හේ පරොස්බස් ඇත්තේ වේ ද, මෙරමා වෙහෙසීමෙහි නියලුනේ (හිරිඔතප් නැති හෙයින්) තිරිසන් බඳු වේ ද, ඔහුගේ ජීවිතය ලාමක වෙයි. තමාගේ (රාගාදී) කෙලෙස් වඩයි.