2. 1.
රතන සූත්රය
224. මෙහි රැස්වූ යම් භූම්යස්ථ අමනුෂ්ය කෙනෙක් හෝ වෙත් ද යම් අන්තරීක්ෂයෙහි වැසි අමනුෂ්ය කෙනෙක් හො වෙත් ද, ඒ හැම භූතයෝ සොම්නස් වෙත් වා! තවද මාගේ භාසිතය සකසා අසත් වා.
225. එසෙයින් ම හැම අමනුෂ්යයෝ අසත්වා! මනුෂ්ය ප්රජාවට මෛත්රිකරව. යම් මනුෂ්ය කෙනෙක් දව රෑ දෙක්හි පුද එළවත් ද, එහෙයින් ම අප්රමත්ත වූවාහු ඔවුන් රකුව.
226. මෙ මිනිස් ලොවැ හෝ නාග සූපර්ණාදී අන් ලොවෙකැ හෝ යම් ධනයෙකුත් වේද, ස්වර්ගයෙහි හෝ යම් ප්රණීත වූ රත්නයෙකුත් වේද, ඔවුනතුර තථාගතයන් හා සම එක ද රුවනෙක් නැත, මෙ ද බුදුරදුන් කෙරෙහි වූ ශ්රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්යයෙන් සත්නට සෙත් වේවා!
227. (ආර්ය්යමාර්ග සමාධියෙන්) සමාහිත වූ ශාක්යමුනි රාගාදී කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින් විරාග නම් වූ ක්ලේශ ක්ෂය වූ අමෘත වූ ප්රණීත වූ යම් නිවනක් අවබෝධ කෙළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමවූ අන් කිසිදු රුවනෙක් නැත, මේද ධර්මයෙහි ශ්රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්යයෙන් (සත්නට) සෙත් වේවා!
228. බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ (කෙළෙස් මල මුලුසුන් කරන හෙයින්) අත්යන්තයෙන් ව්යවදාන වූ යම් මාර්ගධර්මයක් වර්ණනා කළ සේක්ද, යම් ඵල සමාධියක් (මාර්ගයටඅනතුරුවම පල දෙන බැවින්) ආනන්තරිකය’යි වදාළ සේක් ද, ඒ සමාධිය හා සම වූ අනෙක් රුවනෙක් නැත. මෙ ද ධර්මයෙහි ශ්රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්යයෙන් සත්නට සෙත් වේවා!
229. බුද්ධාදි සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් අට අරී පුඟුල් කෙනෙක් වෙත් ද, තෙල පුරුෂ යුගලයෝ සතර දෙනෙක් වෙති. බුද්ධ ශ්රාවක වූ ඔහු දක්ෂිණාර්හ වෙති. තුලුනු කෙරෙහි දන්හු මහත් ඵල වෙති. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවය වේ. තෙල සත්යයෙන් සත්නට සෙත් වේවා!
230. යම් රහත් කෙනෙක් ගෞතම සාසනයෙහි දැඩි සිතින් මොනොවට විදර්ශනායෙහි ප්රයුක්ත වූවාහු (ප්රඥා වීර්ය්ය ධූර දෙකින්) සියලු කෙලෙසුන්ගෙන් නික්මුනාහු වෙත් ද, ඔවුහු අර්හත් ඵල සඞ්ඛ්යාත ප්රාප්තියට පැමිණියාහු නිර්වාණ නම් වූ අමෘතයට බැස ගෙන නිවන් ලැබ ව්යය රහිතව වළදනාහු වෙති. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්යයෙන් (සත්නට) සෙත් වේවා!
231. යම් (සෝවාන්) පුඟුලෙක් චතුරාර්ය්යසත්යයන් මාර්ග ප්රඥාවෙන් විනිවිද දක්නේ ද, ඒ සත්පුරුෂ පොළොවෙහි සිටුවන ලද ඉන්ද්රකීලය සිවු දිගින් හමන සුළඟින් යම් සේ නොසැලිය හේ ද, එ සත්පුරුෂ එවැනි උපමා ඇතිකොට කියමි. මෙ ද සඞ්ඝරත්නය කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්යයෙන් සත්නට සෙත් වේවා!
232. (සත්තක්ඛත්තුපරම යි කියන ලද) යම් පුද්ගල කෙනෙක් ගැඹුරු පැණ ඇති බුදුරජුන් විසින් මොනොවට දෙසන ලද ආර්ය්යසත්යයන් (ප්රඥාවභාසයන්) ප්රකට කෙරෙත් ද, ඔවුහු (දෙව්රජසිරි, සක්විතිරජසිරි ඈ ලබා) සසර බෙහෙවින් පමාවූවාහු නමුදු ඔහු අටවැනි භවයක් (උපත් විසින්) නො ගනිත්. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්යයෙන් සත්නට සෙත් වේවා!
233. ඔහුගේ (සෝතාපත්තිමග්ගසම්පත්තිසඞඛ්යාත) දර්ශන සම්පත් සමග මැ සත්කාය දෘෂ්ටි ද විච්කිත්සා ද ශීලව්රපරාමර්ශ දැයි යන යම් කිසිවක් ඇත් ද, ඒ ධර්මයෝ තුන්දෙන (ප්රහීණ කිරීම් වශයෙන්) හරණා ලද වෙති. සිවු අපායෙනුදු හෙ විමුක්ත වෙයි. (පඤ්ච ආනන්තර්ය්ය හා අන්යශාස්තෘ උද්දේශකය ද යන) ඖදාරික කර්ම සය කිරීමට ද නොනිසි වෙයි. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්යයෙන් සත්නට සෙත් වේවා!
234. තව ද හේ කයින් වේවයි බසින් වේවයි යලි සිතින් වේවයි පව්කම් කෙරේ නමුදු, එය පිළිපන් කිරීමට අභව්ය වෙයි. දුටු නිර්වාණ පද ඇතියහුගේ (දර්ශන සම්පන්න පුද්ගලයාගේ) (ඒ) අභව්යතාව කියන ලදු. මේද සඞ්ඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්යයෙන් සත්නට සෙත් වේවා!