4. 8.
775. අශුචි වළෙන් උඩට නැඟී බැගෑපත් වැ සිටුනා තෙපි කවරහු ද? පව්කම් ඇති තෙපි කවරහු දැ යි මම් කෙසේ නිසැක ව අදහම් ද?
776. ස්වාමීනි, මම පව්කම් කොට මෙලොවින් ප්රේතලෝකයට ගිය යමලොවට අයත් දුගී ප්රේතයෙක්මි.
777. කයින් වචනයෙන් මනසින් තොප කිනම් පවක් කරන ලද ද? කවර පව්කමක විපාකයෙන් (තෙපි) මේ දුකට පැමිණියහු ද?
778. ඊර්ෂ්යා කරනසුලු වූ, කුලයන් කෙරෙහි මසුරු වූ, තද මසුරෙක් වූ සිල්වත්නට පරිභව කරන මාගේ ගෙහි ඇලුම් කළ, ආවාසික භික්ෂු නමක් මා කළ විහාරයෙහි විසී ය.
779. ඒ භික්ෂූහුගේ කීම් අසා මම සිල්වත් භික්ෂූන්ට නින්දා කෙළෙමි. ඒ කර්මයාගේ විපාකයෙන් මම මෙලොවින් ච්යුත ව ප්රේතලෝකයට ගියෙමි.
780. තොපගේ මිත්රස්වරූපයෙන් කුලුපග වූ යම් අමිත්රයෙක් වී ද ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු පරලොවැ කිනම් ගතිය (උපත) කට පැමිණියේ ද?
781. කළ පව්කම් ඇති ඒ ශ්රමණ ප්රේතයාගේ හිස මුදුනෙහි මම දැන් සිටිමි. හෙ ද ප්රේතලෝකයට පැමිණියේ මාගේ මෙහෙ කරුවෙක් විය.
782. වහන්ස, සෙස්සෝ යම් වස්කිසක් කෙරෙත් නම් ඒ වස් (මල) මගේ භෝජන වෙයි. මම් වනාහි යම් වස් කිසක් කෙරෙම් නම් ඒ වස් අනුභවයෙන් හේ ජීවත් වෙයි.
ගුථඛාදක ප්රේතවස්තු යි.
4. 9.
783. අශූචිවළෙන් නැඟී බැගෑපත් වැ සිටුනා තෝ කවරහු ද? පව්කම් ඇති තී කවරක් දැ යි මම් කෙසේ නිසැක වැ අදහම් ද?
784. ස්වාමීනි, මම පව්කම් කොට මෙලොවින් ප්රේතලෝකයට ගිය යමලොවට අයත් ප්රේතියක්මු,
785. කයින් වචනයෙන් මනසින් තී කිනම් පවක් කරන ලද ද? කවර පව්කමක විපාකයෙන් තෝ මේ දුකට පැමිණියහු ද?
786. ඊර්ෂ්යා කරනසුලු වූ කුලයන් කෙරෙහි මසුරු වූ තද මසුරෙක් වූ සිල්වත්නට පරිභව කරන මාගේ ගෙහි ඇලුම් කළ ආවාසික භික්ෂුනමක් මා කළ විහාරයෙහි විසී.
787. මම ඒ භික්ෂුහුගේ බස් අසා සිල්වත් භික්ෂූන්හට නින්දා කළමු. ඒ කර්මයාගේ විපාකයෙන් මම මෙලොවින් චුත වැ ප්රේත ලෝකයට ගියමු.
788. තීගේ මිත්ර ස්වරූපයෙන් කුලුපග වූ යම් අමිත්රයෙක් වී ද, ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු පරලොවැ කිනම් ගතිය (උපත) කට පැමිණියේ ද?
789. කළ පව්කම් ඇති ඒ ශ්රමණ ප්රේතයාගේ හිස මතුයෙහි මම දැන් සිටිමි. හෙ ද ප්රේතලෝකයට පැමිණියේ මාගේ මෙහෙකරුවෙක් වී.
790. වහන්ස, සෙස්සෝ යම් වස්කිසක් කෙරෙත් නම් ඒ වස් (මල) මාගේ භෝජන වෙයි. මම් වනාහි යම් වස්කිසක් කරම් නම් ඒ වස් අනුභවයෙන් හේ ජීවත් වෙයි.
ගුථඛාදක ප්රේතීවස්තු යි.
4. 10.
791. නිදුකාණෙනි, තෙපි නග්නහු යැ, කෘශ යැ, ඉල්පුණු නහර සහ උස් වැ නැඟුණු ඉල ඇට ඇත්තහු යැ දුර්වර්ණ වූ රූප ඇති ඉතා කෙට්ටු වූ තෙපි කවරහු ද?
792. ස්වාමීනි, අපි යමලොවැ උපන් දුගී වූ ප්රෙතයෝ වෙමු. පව් කම් කොට මෙලොවින් චුත වැ ප්රේතලෝකයට ගියෝ වෙමු.
793. කයින් වචනයෙන් සිතින් කිනම් පව්කමක් (තොප විසින්) කරන ලද ද? කිනම් කර්මවිපාකයෙකින් මෙලොවින් ප්රේතලෝකයට ගියහු ද?