3. 6.
471. තෝ නග්න යැ. දුර්වර්ණ රූප ඇතියාහු කෘශ වෙහි, ඉල්පුණු නහර ඇතියාහු, උස් වැ මතු වූ ඉළ ඇති කෘශ වූ මෙහි සිටින තෝ කවරහු ද?
472. ස්වාමීනි, මම යමලොවැ උපන් දුකට පත් ප්රෙතියක්මු. පව්කම් කොටැ මෙලොවින් ප්රේතලෝකයට ගියා වමු.
473. එම්බල ප්රෙතිය, කය වචන සිත යන තිදොරින් තී විසින් කිනම් පවක් කරන ලද ද, කිනම් පව්කමක විවායෙන් මෙලොවින් ප්රේත ලෝකයට ගියහු ද?
474. කිසිවකු විසින් අනාවෘත තීර්ත්ථයන්හි අඩමස්සක් පමණ සෙවීමි. (නොහොත්) කිසිවකු විසින් එළැඹීම නො වැළැක්වූ, පුණ්ය තීර්ත්ථ බඳු මහණ බමුණන් ඇති කල්හි, ඔවුනට කිසිවක් නොදී, අඩමස්සක් රැස් කෙළෙමි. දන්දීමට දේ ඇති කල්හිත් තමහට පිහිට වූ පිනක් නො කෙළෙමි.
475. ඒ මම පවසින් යුතු ව ගඟට එළැඹියෙම් නම් ගඟ දියෙන් හිස් ව (වාලුකමාත්ර බවට) පෙරළේ. උෂ්ණ කාලයන්හි සෙවණකට එළැඹියෙම් නම් අව්ව පෙරළා එයි.
476. සුළඟ ද ගිනි සෙයින් ම මා සිරුර දවමින් හමයි. වහන්ස, තෙල පිපාසාදි දුකට ද එයට වඩා දරුණු අනික් දුකකට ද මම නිස්සෙමි.
477-478. හස්ථිනීපුරයට ගොස් මාගේ මවට මෙසේ කියව: “තීගේ දියැණියෝ පව්කම් කොට මෙලොවින් (චුත වැ) ප්රේතලෝකයට ගියාහු දුක්පත් ව යමලොව වසන්නාහු මා විසින් දක්නා ලදහ. එහි මා විසින් සුරක්ෂිත කොට තබනලද වස්තුව ඇති. එය මා විසින් කිසිවකුට නො කියන ලද ද වෙයි.”
479. පලඟ යට සාරලක්ෂයක් ධනය ඇත. ඒ වස්තුවෙන් මා උදෙසා දන් දේවා. මගේ මවගේ ද ජීවිකාව වේවා.
480. මගේ මව දන් දී එහි පින් මට පමුණුවාවා. එකල මම සියලු කම්සැපතින් සමෘද්ධ ව සුවපත් වන්නෙමි.
481. හේ “මැනැවැ”යි පිළිවදන් දී හස්ථිනීපුරයට ගොස් ඇයගේ මවට මෙසේ කී ය. යමලොව ඉපිද දුකට පත් වූ තොපගේ දූ මා විසින් දක්නා ලදු.
482. පව් කම් කොට මෙලොවින් සැව ප්රේත ලෝකයට ගියා වූ ඕ තොමෝ “මාගේ මවට කියව”යි, එකරුණෙහි මා සමාදන් කරවූ ය.
483. දුකට පත්වූ, යමලොව උපන්; තොපගේ දූ මා විසින් දක්නා ලදු. ඕ (තොමෝ) පව්කම් කොට මෙලොවින් ප්රේතලෝකයට ගියා ය.
484. “මා මෙහි තැන්පත් කළ ධනය අත. එය මවිසින් කිසිවකුට ද නො කියන ලද පලඟ යට සාරලක්ෂයක් වස්තුව ඇත. එයින් මා උදෙසා දන් දේවා. මෑණියන්ගේ ජීවිකාව ද වේවා.”
485. මගේ මව දන් දී එහි පින මට අනුමෝදන් කෙරේවා. එකල මම සියලු කම්සැපතින් දියුණු වැ සුවපත් වන්නෙමි.
486. ඉක්බිති ඇගේ මව දන් දුන්නා ය. දන් දී එහි පින ඒ ප්රේතියට අනුමෝදන් කළා ය. ඒ ප්රෙතිය ද සුවපත් වූවා ය. ඇගේ සිරුර දැකුම්කලු විය.
සෙරණි ප්රේතවස්තු යි.
3. 7.
487. දෙව්පුත් දෙව්දූන් විසින් පිරිවරන ලද තරුණ වූ තෙපි සිත්කලු වූ පස්කම් සැපතින් යුතු වැ (රාත්රියෙහි) බබළන්නහු ය. එහෙත් දවල් කාලයෙහි නොයෙක් කම්කටොලු විඳින්නහු ය. තෙපි පෙරදෑහි කිනම් පවක් කළහු ද?
488. මම අතීතජාතියෙහි රම්ය වූ සිත් පිනවන ගිරිවුජ නම් වූ රජගහ නුවර ලෙයින් තෙත් අත් ඇති දරුණු වූ මුවවැද්දෙක් වීමි.
489. එකල ඉතා දරුණු වූ පරහිංසාවෙහි ඇලුණු නො දැමුණු මම කිසිවකුට හිංසාවක් නැති ප්රාණීසංක්යාත වූ බොහෝ සාමුව ආදී සතුන් කෙරෙහි දුෂ්ට සිතින් යුක්ත වැ හැසුරුණෙමි.
490. ඒ මට යහපත් සිත් ඇති සැදැහැවත් උවසුවෙක් යහළු ව සිටියේ ය. හේ මට අනුකම්පා කෙරෙමින් පුන පුනා මා පවින් වැළැක්වී ය.