3. 2.
413. කුණ්ඩි නගරයෙහි උපන් සානුවාසී පව්වෙහි වෙසෙන නමින් පොට්ඨපාද නම් වූ මහණ වැඩු සද්ධාදි ඉන්ද්රිය ඇති (රහත්) ශ්රමණ කෙනෙකි.
414. උන්වහන්සේගේ මව ද පියා ද සොහොවුරා ද අගතියට ගියාහු යමලොව උපන්නාහු වෙත්. ඔහු පව්කම් කොට මෙලොවින් ප්රේත ලෝකයට ගියාහු වෙත්.
415. දුගතියට ගිය, හිදිකටුවැනි රළු වස්ත්රාදියෙන් පෙළුණු, ක්ලාන්ත වූ ගත හා සිතැති, නග්න වූ කෘශ සිරුරු ඇති බියෙන් තැති ගන්නා වූ හටගත් මහත් බිය ඇති, දරුණු පව් කළ ඒ ප්රෙතයෝ සිය සිරුරු නො දක්වත්.
416. උන්වහන්සේගේ සොහොවුරු තෙමේ බිය දුරු කොට නග්න වැ එකපදික මාර්ගයෙහි හුදෙකලා වැ චතුකුණ්ඩික වැ (දෙදණ දෙඅත යන සිවු අඟින් යන්නෙක් වැ) තෙරුන්ට තමා දැක්වී.
417. තෙරහු ද ඒ නො මෙනෙහි කොට මෙන් තුෂ්ණිම්භූත ව වැඩියහ. ඒ ප්රේතයා ද “මම ඔබ වහන්සේගේ සොහොයුරා වෙමි”යි තෙරුනට තමා දැන්වීය.
418. වහන්ස, ඔබ වහන්සේගේ මව ද පියා ද දුකට පත්වූවාහු යමලොවට ගියාහු ය. ඔහු පව්කම් කොට මෙලොවින් ප්රේතලෝකයට ගියාහු ය.
419. දුගතියට ගිය, හිදිකටු වැනි රළු වස්ත්රාදියෙන් පෙළුණු, ක්ලාන්ත වූ ගත හා සිතැති, නග්න වූ, කෘශ ශරීර ඇති බියෙන් තැතිගන්නා වූ හටගත් මහත් බිය ඇති, දරුණු පව් කළ ඒ ප්රෙතයෝ සිය සිරුරු නො දක්වත්.
420. කාරුණික වූ ඔබ වහන්සේ අනුකම්පා කරන සේක්වා. දන් දී අපට පින් පමුණුවන සේක්වා, ක්රෑරකර්ම ඇති ඔහු ඔබ වහන්සේ දුන් දනින් යැපෙන්නාහු ය.
421. තෙරහු ද අනෙක් භික්ෂූහු දොළොස් නමක් ද පිඬු පිණිස හැසිර බත්කිස සඳහා එක් තැනකට රැස්වූහ.
422. සානුවාසී තෙරහු අන් තෙරුනට මෙසේ කීහ: ඔබ වහන්සේ ලැබූ යම් දැයක් වේ නම් එය මට දෙන්න. නෑයන්ට අනුකම්පා පිණිස සඟබතක් කරන්නෙමි.
423. (උන්වහන්සේ ද තමන් ලද දැය) තෙරුන්ට පවරා දුන්හ. තෙරහු සංඝයා නිමන්ත්රණය කළහ. දන් දී මවට ද පියාට ද සොහොවුරාට ද මෙසේ පින්පෙත් දුන්හ.
424-425. “මේ පින මාගේ නෑයනට වේවා, (ඒ පිනෙන්) නෑයෝ සුවපත් වෙත්වා”යි පින් දීමට අනතුරුව ම නෑයනට පිරිසිදු වූ, ප්රණීත වූ, මිහිරි වූ නොයෙක් රසමසවුළෙන් යුත් දිව බොජුන් පහළ විය. ඉක්බිති ඔබගේ සොහොවුරා වර්ණවත් වැ බලවත් වැ සුවපත් වැ තමා දැක්වී ය.
426. “වහන්ස, බලන සේක්වා බොහෝ දිවබොජුන් ලදුම්හ. එහෙත් අපි නග්න වම්හ. වහන්ස, අපි වස්ත්ර ලබමෝ නම් එබඳු උත්සාහයක් කරනසේක්වා.”